දක්ෂිණ භාරතීය සහෝදරී, නුඹ දමනය කෙළෙමි...
දක්ෂිණ භාරතීය සහෝදරී,
මේ හුදෙක් මාගේ හිත රිදුණු පළියටම ලියන කවක් බව සලකන්න. එහෙත් නුඹව හමුවුණු
එක මගේ වාසනාවක්දැයි විටෙක මට සිතේ. පොසිටිව් තින්කින් නොහොත් පෙරළුණු පිට
හොදය කීමට පුරුදු වී සිටින මගෙන් එසේ කියවීම අරුමයක් නොවේ. එහෙත් නුඹ
හමුවීමෙන් මම ශාන්ති පාරමිතාව නොහොත් ඉවසීමේ ගුණය ප්‍රගුණ කළ බව නම්
නොකියාම බැරිය. තමන්ගේ රටට ජාතියට යමෙක් අපහාස කරනු දැක ඉවසීම, සැබෑ
ඉවසීමක්ද නැතහොත් නිවට කමද නොදනිතත්, මා ඉවසුවෙමි.
මතක හැටියට ඒ 2009 අවුරුද්දේ අග භාගයයි.ඒ අප හමුවූ මුල් දවස්ය. ප්‍රෞඩ
ඉතිහාසයකට මෙන්ම සන්ස්කෘතියකට හිමිකම් කියන කේරළෙන් ආ, මනා රූ සපුවකට හා
බුද්ධියකට හිමිකම් කී නුඹේ සමාගමය මම ප්‍රිය කළෙමි. එහෙත් සියල්ල පටන්
ගත්තේ එක්තරා දවසක නුඹ මා උපන් දේශයට, නැතහොත් මගේ ජාතියට ගර්හා කළ දවසේය.
"හැබෑද ලන්කාවේ නුඹලා දමිළ ජාතිකයන්ට වද දෙනවාය කියන්නේ?" එකමත් එක දිනයක
දිවා ආහාරයෙන් පසු නුඹ ඇසූ මේ අපූරු ප්‍රශ්නයෙන් මම උඩ ගිහින් බිම වැටෙනු
මට මතකය. මා උත්තරයක් දෙන්න පළමු "ඒ නිසා නොවෙද වීරපන් ඇතුළු පිරිස එකතු වී
දමිළ ජනයාගේ අයිතිය රකින්න කොටි සන්විධානය පටන් ගත්තේ?" යනුවෙන් නුඹේ
වේගවත් වාග් ප්‍රහාරය නොකඩවා එල්ල විය. එය අසද්දී මා කෝපයට පත් වූ බව දැන "මම දන්නෙ නෑ, ඒත් උන් ඇවිත්
රජිව් ගාන්ධි මැරූ නිසයි අපි ඒ ගැන කරදර උනේ." යයි කියූ නුඹේ මුවේ තිබ්බේ
උපහාසාත්මක සිනාවකි. "නැත්නම් අපිට ඒ ප්‍රශ්නය අදාළ නෑ" යන්න ඒ සිනාවෙන්
කියවුණු බවක් මට දැනුණි. කෝප වූ විට කතාකරගත නොහැකිවීම මට කුඩා කල සිටම ඇති
ප්‍රශ්නයකි. කෝප වූ මගෙන් පිටවූ ප්‍රශ්නය නම් "අපේ රටේ මිනිස්සු කී දෙනෙක්
මැරුණා කියලද හිතන්නේ" යන්නයි. මා කෝප වූ බව දනුනෙන් ඒ කතාව එතනින් නතර
විය. ඉතිහාසය කුමක් වුවත් එය සිදු වී හමාරය. නමුත් එහිදී සිදුවූ කරුණු
පදනම් කරගෙන වර්තමාන තත්වය විනිශ්චය කිරීම ගොන් වැඩකි. මා කෝප වූයේ එනිසාය.
එහෙත් ඊළග දවසේද එවැනිම සන්වාදයකින් නුඹ මට දමා ගසා, උපහාසාත්මකව සිනාසී
කුරිරු සතුටක් ලැබූවෙහිය. යළිත් මා ඉවසුවෙමි. එදාම නුඹ මට හිනා වූයේ
යුද්ධයෙන් පසු ලන්කාව සන්චාරක කර්මාන්තය නගාලීමට දරන උත්සාහය හෑල්ලු
කරමිනි. භාරතයේ නුඹේ ජනපදය සන්චාරක කර්මාන්තයට කිරුළු පළන් අඩවියක් බව අප
දනිමු. භූගෝලිය ආසන්න බව නිසා ඇති වූ සමානතාවයන් නිසා අපි දෙගොල්ලන් අතරේ
සන්චාරක කර්මාන්තයට තරගයක් පවතින බවද සැබෑය. "නුඹලා කොහෙද අපිත් එක්ක
දිනන්නේ" යන පදනමේ ඉදගෙන නුඹ එදා කියූ වදන් මට තවම මතකය.
තවත් දවසක නුඹ මට හිනා වුනේ රාම-රාවණ කතාව ඇදලා අරගෙනය. කතාව ඇදී ආවේ
දිවාලි උත්සවය ගැන කියන විටය. "භාරතයෙ අපට නම් ලන්කාව කියන්නේ රාවණගේ
ලන්කාව" යෑ කියූ නුඹෙන් මතු වූයේ සුපුරුදු උපහාසාත්මක හිනාවයි. එයට මා දුන්
උත්තරය හරියටම මතක නැතත් මම පැවසුවේ හින්දු ආගමේ එම සිදුවීමට ආගමික වැදගත්
කමක් තිබුනද අපට එය හුදෙක් ඉතිහාසික සිදුවීම බවත් මම හරියට ඒ ගැන නොදන්නා
බව්ත්ය. එය ඇත්තය. අපෙ උන් වැඩිදෙනෙක් දීවාලි ගැන දන්නේ නැතිය. එහෙත් නුඹ
හිතුවේ එදිනට භාරතය රාම - රාවණ යුද්ධයේ ජයග්‍රහණය සමරන අතර අපි පරාජය
සමරමින් නොකා නොබී ඉන්නවා කියලා වෙන්නට ඇත. අපට එච්චරම අමාරුවක් නැත. තවද,
නූතන ශ්‍රී ලාන්කීය පරපුර රාවණගෙන් පැවත එන බව උපකල්පනය කළ නුඹට මම
පැහැදිලි කරන්න තැනුවේ විජයාගමනය යනුවෙන් යමක් සිදුවූ බවත් ඔහු පැමිණියේ
නැගෙනහිර භාරතයෙන් බවත්ය, අප ඔහුගෙන් පැවත එන බවත්ය. එය ඇසූ නුඹ පුදුමයෙන්
බලා සිටියා මතකය.
නුඹ හැම විටම කතා කළේ ශ්‍රී ලාන්කීය දමිළ ජාතිකයන් භාරතයට අයත් යයි යන
පදනමෙහි ඉදගෙන බව වැඩි කලක් යන්නට පෙර මට වැටහුණි. අපිට ඉන්දීය ක්‍රිකට්
පිළ නොරිස්සන්නා සේම නුඹලාටද අපව වහ කදුරු මෙන් වීම පිළිගත හැකි කරුණකි.
යන්තම්වත් නුඹ යමෙක්ව රිස්සුවානම් ඒ අපගේ මුරලිවය. මුරලි දමිළ ජාතිකයෙක්
බව දැන සිටි නුඹ දිනක් දිවා ආහාරය වෙලේ ඇසුවේ මුරලිතරන් ඉන්දියානුවෙක්ද
යන්නයි. ඊට පිළිතුරු ලෙස හොදවායෙන් වාග් ප්‍රහාරයක් මගේ මුවට ආවද ඒ වන විට
නුඹ නිසාම ශාන්තිය මැනවින් ප්‍රගුණ කර සිටිය නිසා අපේ මුරලි ලන්කාවේ උපන්
ලාන්කිකයෙක් බවට කරුණු පැහැදිලි කර දීමට මට හැකිවිය.
ශ්‍රී ලන්කාවට දමිළ ජාතිකයන් සන්ක්‍රමණය වූයේ කෙසේද, කවදාද ඔවුන් හුදෙක්
ඉන්දියානුවන් නොවී ශ්‍රී ලාන්කිකයන් වන්නේ කෙසේදැයි නුඹට කුතුහලයක් ඇතිවී
තිබූ බව මට මතකය. එසේ ඇති වූ කුතුහලයෙන් නුඹ ලාන්කීය ඉතිහාසය පිළිබදව කියවා
තිබුනි. වෙන කුමක් වුවද එම රත්තරන් වටින ප්‍රයත්නය මම අදටත් අගය කරමි.
සැබවින්ම අනික් දක්ෂිණ භාරතීයයන් මෙන්ම නුඹද සිතා සිටියේ ඔවුන් ලන්කාවේ
දමිළ සහෝදරයන්ගේ ශෝචනීය තත්වය ගැන අනුකම්පා කරන හා ඔවුන් වෙනුවෙන් කතා කරන
වීරයන් ලෙසය. එහෙත් එක්තරා දවසක බළළා මල්ලෙන් එලියට පැන්නේය. ඒ නුඹගේ විශ්ව
විද්යාල නේවාසිකාගාරයේ රස කතා අසමින් සිටියදීය. නුඹෙන් කියවුනේ එහි දකුණු
ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වලින් පැමිණි සිසුන්ගෙන් සමන්විත වූ බවත් බහුතරය
දමිළ සිසුන් බවත්ය. ඒ සමගම නුඹෙන් කියවුනේ ඇදහිය නොහැකි වාක්යයකි. එනම් "මම
නම් වැඩිය දමිළයන් සමග මිශ්‍ර වෙන්න ගියෙ නෑ" යන්නයි. ඒ සමගම මගේ මුහුණේ
මතු වූ ප්‍රශ්නාර්ථ ලකුණ දැක හදිසියේ යමක් මතක් වූවාක් මෙන් ඒ කතාව නුඹ
යටපත් කර දැමූ අයුරු නම් අපූරුය. එහෙත් ඒ කතාවෙන් නුඹලා දමිළ ජනයා පහත් කොට
සලකන බව තේරුම් නොගන්නට තරම් මා මොට්ටයෙක් නොවෙමි. එයින් නොනැවතී තවත්
තොරතුරු සොයා බැලූ මට දැනගන්නට ලැබුනේ ඒ කතාව සහසුද්දෙන්ම ඇත්ත බවය. දක්ෂින
භාරතීයන් වී, ද්‍රවිඩ භාෂා පවුලට අයත් වන භාෂාවක් කතා කරමින්ම, තමන්ගේ රටේ
දමිළ ජනතාව පහත් කරමින්, අනුන්ගේ රටකට ඇගිල්ල දිගු කර එහි සිටින දමිළ ජනයා
වෙනුවෙන් කිඹුල් කදුලු හෙළන්නට හා සින්හලයන් යනු රාවණාගෙන් පැවත එන යක්ෂ
ගති ඇති ජාතියකැයි හඩන්නට තොපට ඇති අයිතිය කුමක්දැයි මට සිතුණි.
වර්ගවාදය ඈදගෙන නුඹ කළ කෙනෙහිලි කම් වලින් නොනැවතී වරෙක
ඉතිහාසයද, වරෙක අපේ ආර්ථික තත්වයද සන්සන්දනය කරමින් අදහස් දැක්වූ නුඹට
ඒත්තු ගන්නන්නට වුවමනා වූයේ අපට වඩා ප්‍රෞඩ ඉතිහාසයක් හා සන්ස්කෘතියක්
භාරතයට හිමි බවද, භාරතය යනු සකල සිරීන් පිරි පොහොසත් රටක්ද, ඒ හා සසදද්දී
අපට කිසිවක් නැති බවය. එසේ කියද්දී, විදෙස් රටකදී තවත් විදේශිකයෙක් අතින්
හෑල්ලුවට ලක් වීමේදී දැනෙන වේදනාව කෙබදුද යැයි නුඹට වගේ වගක් නැතුවා වෙන්නට
ඇත. සමහර වෙලාවල නුඹ අපේ රටවල් දෙක සන්සන්දනය කරන්නට තැත් කළා මට මතකය.
භාරතයේ ශ්‍රී විභූතිය ගැන නුඹ කට මැත දෙඩුවේ, අපි අපේ ලගදී පොහොසත් වූ
අසල්වාසියා ගැන ඊර්ශ්යාවෙන් පෙලෙනවායැයි යන උපකල්පනයේ සිට යැයි මට නොයෙක්
වර සිතුනේ නුඹ ඒ විස්තර කියනා ආකාරයෙනි. එහෙත් අපිද ඉතිහාසය උගෙන ඇත්තෙමු.
භාරතයට අපට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇතිබව ඇත්තය. එමෙන්ම එකම කාලයේ නිදහස ලැබුවත්, නුඹේ දේශය ආර්ථිකය අතින් අපිට වඩා ගව් ගානක්
ඉස්සරහින් ඉන්නා බවද අපි නොදන්න කරුණක් නොවේ. එහෙත් එය කෑ ගසා කීමෙන් හෝ
අනුන් පහත හෙළීමෙන් නම් පෙනෙන්නේ ආර්ථික සමුර්ධිය කෙසේ වෙතත් ගුණ නුවණෙහි
ඇති දුප්පත් කමය. අපි නුඹලාගේ දුප්පත් අසල්වැසියා බව ඇත්තය. නමුත් දැන් අපි
දෙගොල්ලම මේ සිටින්නේ වෙනත් රටකය. වෙනස් මහාද්වීපයකය. අපි දෙගොල්ලම මෙහි
ආවේ ඉන්දියන් සාගරය දිහාවෙනි. වෙනස් කම් කොතෙක් තිබුණ මුත්, මෙවන්
විදේශයකදී අපේ සමානකම් වැඩිය. දේශපාලනික වශයෙන් අපිට එකිනෙකාගෙන් ඇත්තේ
අයහපත් බලපෑම් වෙන්නට පුළුවන. එහෙත් සන්ස්කෘතික, ඵෛතිහාසික, භූගෝලීය
වශයෙන් අපේ සබැදියාවක් ඇත. ආර්ථික දියුණුව යනු හැම දේම නොවේ.
නමුත් වැඩිකල් නොගොස් නුඹ මට කීවේ ලාන්කීය ඉතිහාසය පිළිබද ලියැවුණු ලිපි
සමහරක් විමර්ශනය කළ බවය. මා පෙර කී ලෙසටම ඒ වනාහී රත්‍රන් වටිනා
ප්‍රයත්නයකි. මන්ද යත්, නුඹ අඩු තරමින් ජාතිවාදය අලලා කළ කෙණෙහිළි කම්
වත් යාන්තමට අඩු වුනේ ඉන් පසුව බව මට දැණුනු නිසා පමණක් නොවේ. යමක් ගැන කතා
කරනවානම් කතා කළ යුත්තේ හරියට දැන ගෙන බැවිනි.
එතැන් සිට අද දක්වා ඔබේ අද මආ දකින සුළු හෝ වෙනස නම් අගය කළ යුත්තේ මැයි.
එමෙන්ම එදා මෙදා තුර, අපේ රට ගැන යමක් කියද්දී මම කෙතරම් ප්‍රවේශම් වූවාදයි
මට මතකය. රටක් නියෝජනය කරන එකම එක පුද්ගලයා වීම කෙතරම් අපහසුදැයි මට ඇතැම්
විට සිතුණි. දශක තුනක් තිස්සේ රුධිරය උරා බිව් යුද්ධය ත්‍රස්තවාදී අරගලයක්
මිස ජාතිවාදී අරගලයක් නොවන බව ඒත්තු ගන්නන්නට කළ තැත සාර්ථක වූවාදැයි
නොදනිමි. එහෙත් උත්සාහ කළෙමි. නුඹ වැන්නියක හා කථා කිරීමද පහසු නැත. ඒ
තොරතුරු ගබඩාවක් බදු වූ නුඹගේ තර්කානුකූල සුපිරි මොළය නිසාවෙනි. එක කරුණක්
කියන විට නුඹ දහසක් ප්‍රශ්න අසයි. ඊට සූදානම් වීම සදහා සදහා මට ලාන්කීය
ඉතිහාසය කියවීමට ඇවැසි විය. O/L ඉතිහාසය පත්‍රයටවත් එච්චර පාඩම් කළ බව මට
මතක නැත. එහෙත් එයින් හෝ නුඹේ මහවුන් අපේ රට ගැන ඔළුවට දැමූ විකාර අදහස්
වෙනස් වන්නේ නම් එපමණකි. අද වන විට නුඹේ ඇතිවී තිබෙන ආකල්ප වර්ධනය
අතිශයින්ම ප්‍රශන්සනීයයි. ඒ වෙනස ඇති කිරීමට මට වසරකට වඩා ගත විය. ඒ කාලය
ඇතුළත මොන කතන්දර ඇහුවත්, මම නුඹේ රටට හෝ නුඹට වචනයකින්වත් අපහාස-උපහාස කළ
දිනයක් මට මතක නැත. සතුරාටද මෙත් වැඩීම අපේ බෞද්ධ දර්ශනය බැවිනි. හැම විටම
කටුක විනිශ්චයන් දීමට හුරු වූ නුඹේ සුපිරි මොළයෙහි යම් කිසි තෙත් බවක්
ඇතිවීමට එයද හේතු වුණාදැයි නොදනිමි. නුඹේ ප්‍රහාර වලට මා ප්‍රති ප්‍රහාර
දේවියැයි නුඹ සිතන්නට ඇත. එහෙත් මා නුඹ දමනය කළේ ඉවසීමෙන්මය...ඉවසීමෙන්ම
පමණි..
සමහර අය විතරක් නෙවෙයි, සමහර එටවල් හිතාගෙන ඉන්නේ ඒ විදියට...
ReplyDeleteඒක තමා කියන්නෙ. ඇයි අෆ්ෆා මේ පැත්තක ඉන්න අපිව කන්න හදන්නෙ? :(
Deleteඅනේ මන්දා.. අක්ක ද නංගි ද මන්දා. කවුරු උණත් අපේ රටේ, අපේ විදිය මේකයි කියන්න අරගල ඇති කර නොගෙන ඉවසීමෙන් දමනය කල එක නම් බොහොම වටිනවා.. පහර දිය යුත්තේ දුර්වල ස්ථානයට, දුර්වල අවස්ථාවේ දී මිස ඔහේ ගහන්නන් වාලේ නොවේ.. ලිවීම සැහෙන්න හොඳ තත්වයක තියෙනවා.. දිගට ම එන්න උත්සාහ කරනවා!
ReplyDeleteස්තුත්යි රැන්ගෝ! ඔව්, කොච්චර අමාරු උනත් මම කරපු දේ හරිය කියලා දැන් හිතනවා.
ReplyDeleteප.ලි: අපි ඉතින් 84 අවුරුද්දෙ උපන් ළමයිනෙ..;) ආමන්ත්‍රණය කරන විදිය ඒ අනුව තීරණය කරන්නකො...;)
ඔය ඉන්දියන් අය හිතාගෙන ඉන්න විදියට රවණා සල්ලාලයෙක් වත් දරුණු රාක්ෂයෙක්වත් නෙමෙයි....එක රාමායනයෙම තියෙනවානේ (සීතා අග්නි ජාලාවකට පැන පතිවෘතතාව පෙන්නිමෙන්ම) කොහොමත් ඔය ලොකු ලොකු රටවල් කැමති නැහැ පුංචි රටවල් දියුනු වෙනවට,(ඇමරිකාවට නොසැලි ඉන්න කියුබාව) එ වගෙ අපිත් ඉන්දියාවේ තර්ජනවලට නොසැලි එකමුතුව ඉදිරියට යමු...... නියම ලිපියක් නංගි ..... ඔබට ජය..!
ReplyDeleteස්තුතියි කුශි අයියෙ...ඒක ඇත්ත, උන්ගෙ අලි උණ..:( ඕනැ එකක් හිතා ගත්තාවේ...අපි දන්නවනෙ අපි කවුද කියන්න...
ReplyDeleteකියන තරම් හැමදේම ඇත්තත් නෙමේ, බොරුත් නෙමේ
ReplyDeleteඇත්තක් තියනවා තමයි, ඒත් ඉතිහාසය අනුව විතරක් වර්තමානය විනිශ්චය කරන එක තමා දුක.
ReplyDelete