Pages

Saturday, September 14, 2013

"අදින්න මිනි ගවුම අදින්න...."



අද සෙනසුරාදාය..ගෙදර ඉන්නා දවස නිසා අත්තා බලන්න ගියේ කිසියම් උදව්වක් පදව්වක් ඇත්නම් කරල දීමටය..අත්තාගේ බුලත් වට්ටියෙන් බුලත් විටක් හදාගෙන හපමින් ටිකක් වෙලා සුහද කතා බහේ යෙදුනෙමි. වෙන වැඩක් කිරීමට නොතිබුණෙන් අත්තාගේ පරණ අල්මාරිය අස් කිරීමට පටන් ගත්තෙමි....අස් කරන්න ගත්තාට, අස් කිරිල්ලට වඩා මම කැමති එහි ඇති කෞතුක වස්තු අවුස්සා බලා එහි නිදාන කතාව සොයා බැලීමටය. ඇතැම් වස්තූන්ගේ ඉතිහාසය දශක කිහිපයක් ඈතට යන තරම් පැරණිය. එසේම රසවත්ය..මෙසේ කෞතුක වස්තූන් අවුස්සන අතර මට හම්බුණේ පැරණි ඇල්බමයකි..මම එය පෙරළා බැළුවෙමි..හප්පේ..එහි තිබ්බේ වැඩි හරියක් 60 දශකයේදී ගත් අපේ අම්මාගේ කළු සුදු පින්තූරය.අම්මා ඒ දවස් වල දාසයෙ කෑල්ලකි..අම්මාගේ පවුලේ අක්කලා නන්ගිලා 7 කි.ඇල්බමයේ තිබූ 60'ටේ ෆැෂන් මා විමතියට පත් කරන සුළුයැ. එව්වායේ මිනි ස්කර්ට් සහ මිනි ගවොම් වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මිනි"ය. ඇල්බමය පෙරළාගෙන යත්ම හමු වූයේ අම්මලාගේ පවුලේ පින්තූරයකි..හෆොයි..එහි සිටි යුවතියන් සැවොම මිනි ඇදුම් වලින් සැරසී සිටියහ...! අක්කලා නන්ගිලා සේරම අඩ නිරිවස්තරෙන් වාගේය...:O එහෙත් මෙව්වා ඒ කාලේ ෆැෂන්ය. එව්වා නිකමට හරි අපි දැන් කාලයේ ඇන්දානම් බඩු පැකට්ය!





60ටේ "මිනි" ෆැෂන් තව දුරටත් අද්යයනය කිරීමේ කුහුල නිසා මම ඇල්බමය පෙරලාගෙන ගියෙමි. ඊළ්ගට හමුවුණේ අම්මලාගේ ඉස්කෝලේ කොන්සට් එකකදි මිතුරියන් එක්ක ගත්තු පින්තූරයකි. බොලේ! ඒ දැක මට නම් වහ කන්ට සිත්විය. ඡායා රූපයේ සිටි කෙල්ලන් සියල්ලන්ගේම ගල් එළියේය..! එකත් එකටම යට කෑල්ල අදින්ට අමතක වෙලාවත්ද? මෙව්වා ඇදන් ඇවිද්දේ කොහොමද මන්දාය. අපහසුවෙන් හෝ ඇවිද්දත් පඩි පෙළක් කාරිය නගිද්දී වහගන්ට ඕනෙ තැන් වහගෙන නැග්ග හැකිදැයි සැකය! 




වත්මන් සමාජයේ අයියලා මල්ලිලා මාමලා බාප්පලා විවේචනය කරන්නේ අපේ ඇදුම්ය..එහෙම කරන එව්වෝ මෙව්වා දැක්කොත් එල්ලිලා මැරේය. වත්මන් ලාන්කීය සමාජය දිනෙන් දින වැඩිවන කාම අපරාධ රැල්ලට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දෙන්නේ කතුන්ගේ විලි සන්ගෙ නැති ඇදුම්ය. කතාව ඇත්ත වෙන්ට ඇත. ඒත් හත්දෙයියනේ මට නොතේරෙන දෙයක් ඇත. 60-70 දශකයේ සිටි පිරිමින් සිටියේ මේ වගේ "මිනි" ෆැෂන් බල බලා නම්, ඒ කාලේ මේ වගේ අපරාධ නොවුණේ ඔවුන්ට හැගීම් දැනීම් තිබ්බේ නැද්ද? ඒකත් වෙන්ට බැරිය. මන්ද යත් ඒ කාලේද ළමයි ඉපදුණෝය. ඒ කොහොම වුණත් මෙබදු ඇදුම් ඇදගෙන අපේ අම්මලාගේ කාලයේ තරුණියෝ ඒ දවස් වල පාර තොටේ ගියෝය. ගිහින් නිරුපද්‍රිතව ගෙදරද ආවෝය. අපිට නම් මෙහෙම ඇන්දොත් පාරේ යන්ට කොහොම උනත් ආපහු එන එක ෂුවර් නැත! එකම ඇදුමට කාලයත් සමග වෙනස් වූ සමාජ රටා දෙකක් ප්‍රතිචාර දක්වන හැටි කල්පනා කරද්දී මගේ හිස කැරකෙන්නට විය. ප්‍රශ්නය එතරම්ම බරපත්ල නිසාය. ඒ සදහා සෑහෙන බොන්න ඕනෑය. අඩුමගානේ ප්ලේන්ටියක් වත් ඕනෑය. එහෙයින් මම අල්මාරිය වසා කුස්සියට ගියේ ප්ලේන්ටියක් ගහන්ටය...