Pages

Wednesday, April 25, 2012

සද එන තුරා..



අසනි වැස්සෙන් පසුව
එළිය වට අහසට පෑයූ
සද මඩල පින්බරයි
කල්පයක් බලා ඉන්නට තරම්...


කළු වලාකුළු ඇවිත් එසැණින්,
වසා ගත්තත් සද වත,
වලා තිර අතරින් ගලන
සද කැන් රේණු සුන්දරයි..


මගේ හිත පාළුයි
දෑස් සද එන මග බලයි,
එනමුත්...
වලාකුළු වල හැටි එහෙමයි..
කල් බලා ඉන්නම් දකින තුරු ආයෙත්..
එතෙක් සැනහෙන්නම් 
සරා සද කිරණින්...

Sunday, April 22, 2012

ශිශිර තරණය..



හිම කුණාටුව ගලයි...
පලා පැහැ සැගවුනු ශිශිරයේ
වියරු වූ වාතලය අතරින්
හිම කුණාටුව ගලයි...
ඝන මීදුම් පටල අස්සෙන්
අදුරු සේයා මැවෙයි...


කිසිවෙකුත් නැති
පාළු සීතල කුටිය තුළ හිදගෙන
ගෙල මිරිකා දමන සුළු
මරණීය හුදෙකලාව තුළ
කිමිදී මියෑදෙමි...


ගැහෙන දෑගිලි අතර පන්හිදක් සිරකර
එකදු අකුරක් කුරුටු ගෑ නොහැකි ලෙස
චිත්ත සන්තානයේ
සියළු සිතිවිලි ගල් ගැහුණු,
තුවාල ලත් හදවතින්
ගලන ලේ කැටි ගැහෙන,
ආත්මය විනිවිද ගැලූ
කදුලු පවා අයිස් බවට හැරෙන
නපුරු වූ ශිශිරය...
නිදන්නට හැකිනම් මට
කාල තරණ නින්දක්..
නුඹ පලා යන තුරු..
ලෝකයෙන්...

අක්කණ්ඩි..


සුදු ගවුම රැළි තියා මැද, පොත් මිටිය තුරුළු කර
වැව් කණ්ඩිය දිගේ ඉස්කෝලෙ ගියපු
අපෙ අක්කණ්ඩි..
රෑ දවල් නැතිව ඔහෙ කියවන්න
ඔච්චම් කරල හිනාවෙන්න
රෑ තිස්සෙ පිලේ ඉද කවි කියන්
ළග උන්න අක්කණ්ඩි....
කඩුලු වැට පැන ගෙපැලට වැදෙන ජීවිතේ දුක පසක් වී
තක්සලාවෙන් ගෙට ගෙනා සහතිකේ බිම තියා
නුඹ ගිහින් පුරවරට කසී සළු පිළි වියන්නට...


හිරු දෙයියො කෝප වී රකුස් බැල්මන් හෙලන
අග නුවර කාෂ්ටක ගින්න නුඹ දවාවිද
රළු බැණුම්, නිමක් නැති කෙණෙහිලි අස්සෙ
කාන්සිය කෝම නම් දරාවිද
සරුව පිත්තල සළෙල වන්කගිරි වීදියේ
අතරමන් නොවී ගෙදර යාගනිද...


වැට අයිනෙ පීදෙන ගැට පිච්ච මල් ගහේ
මලුත් පර වී ගිහින්..
දෙණිය ළග මලිත්තන් හඩාවී...
නුඹ ආවෙ නැති දුකට...
බක් මහේ අහස කළු කර
හීන් සිරිපොද වැටෙන කොට
මල් ගවුම වැලෙන් ගෙට ගන්ට
මිදුල අහ බැලෙනව පුරුද්දට...
රැය ඇවිත් ගෙදරට කළුවරත් අරගෙන
ඉමක් නැති හීන නිදි බිදින කොට
අම්මාගෙ වියපත් පන් පැදුර දිහාවෙන්
හීන් ඉකියක් ඇහෙනව යන්තමට...


වෙල් දෙණියෙ දුව පැන්න, තරගයට ඔරු පැද්ද
අපට මොන කහවණුද
හැමදාම නැති උනත්, දිනක් ඇර දිනක් වත්
දවල් බත ඉදේ නම්
ඔය හීන මාලිගා තවත් මොන එහෙකටද..
ඔය වියමන අතෑරල
ඊලගට එන කෝච්චියෙන්..
ඔන්න ඔහෙ ගෙදර වරෙන්..



වරා මලක්...


වරා මලක් සේ උඩු සුළගේ.. 
පාවී ගිය සිත ලැගුම් සොයන්නට
සීතල නිම්නෙක නතර වෙලා...


සමනල තටුවක පිණි කැට තවරා

සිත්තම් කර සුබ සිහින අරන්
වස්සානේ අග නොහිම් නිමේශෙක
සද ඇවිදින්...


ඉකිලන පැතුමක් කදුලක දියවී

නෙතු අග නිම්හිම් සොයන වෙලේ... 
සද තුරුලට විත් සැගවෙන්නද යළි 
හොර රහසේ...

වන වදුලු පුරා...


වන වදුලු පුරා ගිය සුවද හමා 
මුළු ගම්මානෙම කිරි සුවද කළා 
මගෙ පුන්චි පැලේ සද පහන නිවී 
රෑ අමාවකේ තරු ඉකි බිදිනා...

ඔය ළමැද පුරා ගැලු සෙනේ ගගින් 

ගත රැදි ඩා බිදු මුතු අහුරු වුනේ, 
හද ඇවිලි දුකින් ලිප ගිනි මෙලවී 
නුඹෙ කදුළු සහල් රජ බොජුන් වුනේ..

ගෙයි මිදුල කොනේ සුදු ඉද්ද සමන් 

පිණි කදුලු පිරී පෙති ගිලිහෙන්නා,
අද පහන් පැලේ ඉඩ නැති හන්දා 
මල් සුවද ලිහී බිම විසිරෙන්නා...

මුදු නයන වැසී සිල් සුවද ඉරී 

මේ මතක බණින් අද පැන් වඩනා,
නුඹෙ ළතෙත් සෙනේ මල් සුවදක් වී 
මේ සසර ඉමේ මට තනි රකිනා...

කවි හිත..



විදින්න...
හිත පුරාවට මේ සුවද,
මද පවන් රැළි එක්ක හමා එන..
කුණාටුව එන්නට කලින්..

දෙනෙත් හරින්න...
නිශාන්තයේ මෝදු වන තරු කැට
නිවී යන්නට කලින්...
හිනැහෙන්න...
තුරු අග නලියන පිණි බින්දු
වියැකී යන්න කලින්...

ජීවිතය මැසිවිලි නගයි කවදත්
කොහොමටත්..
ඒත් රැකගන්න ඔය කවි හිත..
මිලින වී යා නොදී..
ආදරෙන්.. මලක් සේ..

Sunday, April 8, 2012

සුලග...


සුලග නුඹ එන්න...
මල් උයන් සිසාරා, 
තුරු මුදුන් සිප....
ශිශිරයේ හිම මිදී,
තවම නිදියන නිම්නයට හමාවිත්,
වසන්තයෙ පිණි ඉස ඇහැරන්න...

සුළග නුඹ එන්න...
හෙමි හෙමින් ගලා ගෙන...
ඔය සුමුදු මුදු රැල්ලක,
සිනාවක් සගවා ගෙනත්,
නෙතු දෑල රිදුම් දෙන 
සීතලම සීතල කදුලැලි පිසලන්න..

සුළග නුඹ එන්න...
මා වැළද ගන්න...
ගිලන් වී සීතලෙන් ගල් ගැහුණු සිතිවිලි,
ස්නේහයේ උණුසුමින් සතපන්න..
කොහේදෝ ඈත සිට හමාගෙන,
මෙහි එන්න...
මම බලා ඉන්නම්..
නුඹ එන්න... 

පරාජය...



සොදුරු සන්ග්‍රාමය නිමාවිය…
අවසාන සටනින් පැරදී,
අවමන් වින්ද සිහිනයෙන් අවදි වී,
ලේ ගලන හදවතත් කුදලගෙන,
පසුබසිමි හිස් අතින්...


දොරගුලු දමා තිබු හිත ලගට
අනවසරයෙන් අවුත්
නුඹ පෑ පෙලහරට වශී වී…
ගත වුනා කල්පයක්..
මම සිහින දැල් වියුවා මකුලු හුයකින්..
කුණාටුව එන බව දැන දැනම…


අපරාහ්ණයේ රශ්මියෙන් දැවී
මේඝ වර්ශාවෙන් තෙමී,
දුක් ගී කුරුටු ගෑ කැටපත් පවුර
සුණුවිසුණු කරගෙන...
පසුබසිමි හිස් අතින්..
තවත් කල්පයකින් මහලු වී….