Pages

Saturday, April 13, 2013

උයන් පල්ලන් සහ බොන්සායි කරුවන්....






කොල්ලන් වර්ග දෙකකි..ඇතැම්හු උයන් පල්ලන් මෙනි..පොහොර දමා සාත්තු කර ගස් වවති..ඇතැම්හු බොන්සායි කරති...ගසට වැඩෙන්න නොදී කප්පාදු කරමින් ලස්සනට තබා ගනිති...ඇත්ත වශයෙන්ම, උන් ඒ ගස වැවෙනවාට බයය...

ඉහත කියූ කතාවේ තේරුම මොකක්ද? ඊයේ ලයිබ්‍රරි එකට යද්දි මගේ බැච් මේට් විජිනි හම්බ උණා..විජි මගේ බැච් එකේ හිටපු බ්‍රයිට්ම කෙල්ලෙක්. විජී බැන්දේ අපේ බැච් එකේම හිටපු පැතුමව.

හැබැයි පේන විදියට අද මූණ නම් එච්චර හොද නෑ වගේ..

"විජි මොකද සීන් එක? පැතුම් එක්ක වලියක් ඇද්දද?"

"ඔව්." මේකී කියපි.

"හෑ? එහ් මොකෝ" මම පුදුම උනා.

"දැන් ටික දවසක ඉදලා පැතුම් අමුතුයි.."

"හේතුව?"

"මම එම්. බී. ඒ කරන්න ගත්තු දවස් වල ඉදලා, එයා මා එක්ක හොද නෑ වගේ."

"ඇයි ඔයාගෙන් ගෙදර වැඩ වත් මග ඇරුණද?"

"එහෙම එකක් උනෙ නැහැ. ඒත් එයට තරහයි වගෙ."

මම පුදුම වුණා..

"ඒ අස්සෙ ළගදී මගේ සැලරි එකත් වැඩි උණානෙ. ඒකටත් එය තරහයි වගෙ"

"ඇයි හත් දෙයියනෙ..තමන්ගෙ වයිෆ්ගෙ සැලරි එක වැඩි උණානම් මිනිහෙක් කොච්චර සතුටු වෙන්න ඕනෙද?"

"ඒක තමයි ඕයි කියන්නෙ. පැතුම් මා එක්ක ඉරිසියයි වගෙ.."

"හයියෝ.."

"මට හිතුණොත් එම්. බී. ඒ එක අත අරිනවා චමියෝ"

"උඹේ මොළේ නරක් වෙලාද විජි? එතකොට යට කරපු සල්ලි...? අනිත් එක ඒක ප්‍රශ්නෙට විසදුමක්ද?. ඔයා එහෙම කරයි. හැබැයි ඔයා කවද හරි දුක් වෙයි. ඔයාට ඔච්චර හොද මොළයක් තියනවා.. ඔය ජොබ් එකේ ඔයාට ඉහළටම යන්න නම් මාස්ටර්ස් තියන එක හොදයිනෙ. අනිත් එක ඉගෙන ගන්න පුළුවන් වයස හැමදාම තියෙන්නෙ නැහැනෙ".

මම බණ කියනවා වගේ කියවනවා. "ඔයා අපේ බැච් එකේ තිබුණු සුපිරිම මොළ වලින් එකක්. අමතක කරන්න එපා ඔය කම්පණි එකේ ජොබ් එකක් ගන්න අපේ උන් කීයක් දැගලුවද කියලා. ඔයාටනෙ ඒක හම්බ උණේ. ඔතනිනුත් ගොඩාක් ඉහළට යන්න ඔයාට පුළුවන් විජි"

"මට හිතෙන්නෙ ඒකම තමයි පැතුම්ගෙ ප්‍රශ්නෙත්..". විජී හිනාවුණා.. ඒ හිනාවෙ දුක, කේන්තිය, බලාපොරොත්තු කඩවීම, ඒ හැම දේම තියනවා මම දැක්කා...

"ඒ කියන්නෙ ඔයා එයාට වඩා ඉගෙන ගන්න එක හරි, එයට වඩා ලොකු පඩියක් ගන්න එක හරි එයාට මදි කමක් වගේ.."

"ඔවු. ඒ වගෙ තමයි. පෙරේදා මගෙ ආටිකල් එකක් අපෙ වීක්ලි මැගසින් එකේ පළවුණා. පැතුම් ඇරෙන්න අනිත් හැමෝම ඒක ගොඩක් අගය කළා. ඊයෙ හවස අපි කාර් සේල් එකට ගියා කාර් එකක් බලන්න. පැතුම්ට කාර් පිස්සුවනෙ. එයා කාර් සේල් එකේ මැනේජර් එක්ක කතා කර කර ඉන්නකොට මම මොකක් හරි ප්‍රශ්නයක් අහන්න ගියා කියලා එය මට බැන්නා "ඔයා දන්නෙ නැති දේවල් වලට කට නොදා ඉන්න කියලා.".

"කතන්දරේ තේරෙනවනෙ. පැහැදිලි ඉරිසියාව. මට හිතෙන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ එයාගෙ හිතේ."

"ඔවු. නැතිව මගෙ අතින් වැරැද්දක් වෙලා නෙවෙයිනෙ"

"එහෙම නෙවෙයි. පැතුම්ට තමන් ගැන තියන ආත්ම විශ්වාසයෙ ප්‍රශ්නයක්. හැබැයි ඒක මට හිතා ගන්න බෑ. පැතුමා හැන්ඩි කොල්ලා. ඔච්චර හොද ජොබ් එකක් තියනවා. ඒත් තමන් ගැනම ආත්ම විශ්වාසයක් නැත්තෙ ඇයි. අනිත් එක ඔයාට හොදක් වෙනවනම් ඔයාගෙ හස්බන්ඩ් හැටියට එයා සතුටු වෙන්නනෙ ඕනෙ."

"මම කරන හැමදෙයක්ම කරන්නෙ අපි දෙන්නගෙම හොදට චමී. නැතුව එයා එක්ක තරගෙට නෙවෙයි. මොකෝ මට සැලරි එක වැඩි උනා කියල මම එයාව දාල යනවද?"

"හරි බන්. ඒක මම දන්නව. ඔයා බලල තියනවද "අභිමාන්" ෆිල්ම් එක?"

"පුන්චි කාලෙ බැලුවා මතකයි."

"ඒකෙත් ඔහොම සීන් එකක්නෙ වෙන්නෙ. වයිෆ් තමන්ට වඩා දක්ෂයි කියලා දැනගත්තම හස්බන්ඩ්ට ඉරිසියාවක් හිතෙනවා. එයා තවත් ඉහළට යනකොට, සමාජෙන් ලැබෙන පිළිගැනීම වැඩි වෙනකොට ඒක තවත් වැඩි වෙලා වයිෆ් එක්ක රණ්ඩු කරගන්නවා. හැබැයි හොද ආත්ම විශ්වාසයක් තියන පිරිමියෙක් එහෙම කරන්නෙ නෑ විජි. තමන් ගැන පුන්චි හරි හීනමානයක් තියන, තමන්ගෙ අගය අඩුවෙන් තක්සේරු කරන අය තමයි ඒ විදියට හිතන්නෙ"

"එදා මම ඔෆිස් එකේ ඉශාන්ව මගදී දැකලා හිනාවෙලා කතා කළා කියලා පැතුම්ට හොදටම කේන්ති ගියා. මොකෝ පාරෙදි හිනා උණා කියල මම ඒකව බදිනවද? ඉශාන් ටෙක්නී‍යෂියන් කෙනෙක්. ඒ මදිවට තාර පීප්පයක් වගෙ කළුයි."

"ලස්සනින් වත් වෙන කිසිම දෙයකින්වත් වෙන කිසිම කොල්ලෙක්ට පැතුම්ට කිට්ටු වෙන්න බෑ. ඒත් එයාට ඒක පේන්නෙ නැති එකයි ප්‍රශ්නෙ"

"ඔයා කිව්ව වගෙ හීනමානයක් තමයි එයාගෙ හිතේ තියෙන්නෙ. මන් මොකද කරන්නෙ මචෝ මේකට?" විජී ඇහුවෙ දුකෙන්..

"මොන දේ උණත් ඔයාගෙ ඩිග්‍රී ඒක නවත්තනවා වගේ මැටි වැඩ කරන්න එපා. එතකොට හිතන්නකො ඔයාට ඔය ජොබ් එකෙ වෙන හොද පෝස්ට් එකක් හම්බුණා කියල. ඔයා ඒක බාර නොගෙන ඉන්නවද? ඒ වගෙ වැඩවලින් වෙන්නෙ තමන්ට තමන්වම නැති වෙන එකයි. ඒකෙන් කවදා හරි දවසක ඔයා දුක් වෙයි."

"මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ පැතුම්ගෙ හිතේ නෙ විජි. ඔයා එයාට තේරුම් කරල දෙන්න බලන්න."

මම මගේ යාළුවාව දාලා එන්න ආවෙ හිතේ ලොකු බරක් තියාගෙන. සමහරක් අය තමන් ආදරේ කරන කෙනාට පුළුවන් තරම් උදව් කරනවා. හරියට උයන්පල්ලෙක් තමන්ගේ උයනේ ගස් වලට වැඩෙන්න සාත්තු කරනවා වගේ. ඒ ගහේ මල් පිපෙන කොට උයන්පල්ලෙක්ට දැනෙන්නෙ සතුටක්. සම-හරක් අයට ඕනෙ තමන්ගෙ සහකාරියව බොන්සායි ගහක් වගේ වැවෙන්න නොදී හැමදාම තියාගෙන ලස්සන බල බල ඉන්න. එහෙන් මෙහෙන් අතු වැවෙන්න හදනකොට ටක් ගාලා කප්පාදු කරලා ආයෙත් පුන්චි කරලා තියා ගන්නවා...ඒ බයටද???? මම මේ තාම හිතනවා...

කොහොම උණත් ඔය විදියේ බොන්සායි ගස් අපේ රටේ ලක්ෂ ගානක් ඇති...පවු...