Pages

Thursday, May 24, 2012

මම බයයි උඹට...



මම පොඩි කාලෙ ඉදලම උඹට තිබුනෙ පුදුම බයක්. මම කොහේ ගියත් හැමතිස්සෙම බය උනා උඹ මගෙ ළගට එයි කියලා. උඹ මගෙ ලගට එනවා කියලා දැනුනොත් මම දුවගෙන යනවා කාව හරි හොයාගෙන. පොඩි කාලෙ ඉදන්ම උඹෙ තියන නපුරු කම මම දැනන් හිටියාමම වෙලාවකට හිතුවා කවුරුවත් උඹට කැමති නැති නිසා මාව හොයන් එනවද කියලාඒත් මම දැක්ක සමහරු උඹට කැමති බව. මම හිතුවේ උන්ට පිස්සු කියලා."උඹත් එක්ක මනුස්සයෙකුට ඉන්න පුළුවන්ද..?" මම එහෙම හිතුවා.අපේ අම්මලා මම පොඩි කාලේ කවදාවත් මාව උඹ එක්ක තියල ගියෙ නෑ. ඒත් ටිකක් ලොකු වෙද්දි ගොල්ලන් උඹව විශ්වාස කරන්න පටන් ගත්තා. මාව උඹ එක්ක තියලා, මාව දාලා ගියා. කරන්න දෙයක් නැති කමට මම උඹ එක්ක හිටියා.  

මම ටිකක් ලොකු වෙද්දි උඹ මගෙන් පලා ගියා. මට යාළුවො ගොඩක් හිටපු නිසා වෙන්න ඇති. අපේ මිත්‍ර සමාජයට උඹට එන්න ඉඩක් තිබ්බෙම නෑ. කාලෙදිත් මට උඹට තිබුණු අකමැත්ත වැඩි මිසක් අඩු උණෙ නෑ. කාලෙදි මට එක එක අය මුණ ගැහුණා. මම කා එක්කත් ආශ්‍රය කළා. කවුරු උණත් උඹට වැඩිය හොදයි , උඹ එක්ක ඉන්නවට වැඩිය ඕන කෙනෙක් එක්ක ඉන්න එක හොදයි කියලයි මම හිතුවෙ. මම දැනගෙන හිටියා, මගේ යාළුවො මාව දාලා ගියොත් උඹ මාව හොයාගෙන එනබව. ඒක හින්දා මම සමහරු නපුරු යාලුවොත් එක්කත් හිටියා, උන්ගේ කෙණෙහිළිකම් විදගෙන. පුළුවන්කමකට නෙවෙයි. උඹට තියන අකමැත්ත නිසා. උඹ මගෙ ළගට එනවට කැමති නැති නිසා. ඇත්ත, අකමැත්තටත් වැඩිය මට තිබුණෙ බයක්. මම මේ ලෝකෙ බයම කෙනා උඹ වෙන්න ඇති. අනිත් ගොඩක් අය වගේ මමත් කැමති පුළුවන් තරම් උඹව අඩුවෙන් ආශ්‍රය කරන්න.

 ඒත් කොහොම උනත් අන්තිමේදි හැමෝම මාව දාලා ගියා. උඹ හෙමිහිට මට කිට්ටු වෙනවා මට දැණුනා. මම උඹව අදුරන්නෙ නෑ වගෙ මග අරින්න හැදුවා. ඒත් හරි ගියෙ නෑ. දරුණු, නපුරු, අදුරු ගති ඇති උඹෙන් බේරෙන්න ලේසි නැහැ. උඹෙන් පලා යන්න මට බැරි වුනා. උඹ මගෙ ඔළුව ඇතුළට රින්ගලා මගෙ මොළය කා දමනවා වගෙ මට දැණුනා. මම මගේ යාළුවන්ගෙ නම් කියලා කෑ ගැහුවා. ඒත් කාටවත් ඇහුණෙ නැහැ.

ඒත් ටික කාලයක් ගියාම මම උඹට හුරු උණා වගෙ. පොඩි කාලෙ ඉදන් හිතපු තරම්ම උඹ නපුරු නෑ වගෙ කියලා ටික ටික හිතෙන්න පටන් ගත්තා. අඩු තරමින් අර උඹ එක්ක ඉන්න වෙනවට කියල මම හිටපු දරුණු මිනිස්සුන්ට වඩා උඹ හොදයි. උඹට තියන බයට, මම උන් එක්ක ඉදලා කර ගත්තෙ මෝඩ කමක්. උන් මගෙ කාලය විතරක් නෙවෙයි ජීවිතෙත් නාස්ති කරලා කියලා මට දැණුයි තෙරෙන්නෙ. උන් දැනන් හිටියා මම උඹට බය බව. ඒකෙන් උන් කොච්චර ප්‍රයෝජන ගත්තද. අපරාදෙ එහෙම වුනේ. ඒත් තාමත් මම උඹට එහෙමටම කැමති නැහැ. කොහොම උණත් සමහර වෙලාවල් වලට උඹ එක්ක ඉන්න මම කැමතියි. සමහර විට මගෙ වටේ ගොඩක් අය ඉදිද්දිම උඹත් මා එක්ක ඉන්නවා. සමහර විට මම උන්ට බොරු හිනාවක් එක්ක හොද මූනක් පෙන්නලා උඹ එක්ක කතා කර කර ඉන්නවා. සමහර වෙලාවට වැඩ වලින් පීඩනයට පත් වුණාම පැත්තකට වෙලා හිත සන්සුන් කර ගන්න උඹ මට උදව් කරනවාමට මන් ගැනම ගොඩක් දේවල් උඹ කියලා දුන්නා. පාඩම් වෙන කිසිම යාළුවෙක්ගෙන් ඉගෙන ගන්න බැරුව ඇති. මම ඉස්සරට වැඩිය උඹ එක්ක හොද යාළුකමක් ඇති කරගෙන කියලයි හිතෙන්නෙ. කොහොම වුණත්, උඹේ තියන අදුරු ගතිය නිසා, මට උඹ එච්චරම ප්‍රිය මනාප නම් නැහැ. මොකක් හරි හේතුවක් නිසා උඹ එක්ක ගොඩක් වෙලා ඉන්නත් මම බයයි. ඒත් කවුරු හරි ඇහුවොත් මම කියනවා උඹ මගෙ හොද යාළුවෙක් කියලා. ඔව්උඹ මගෙ හොද යාලුවෙක්..............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................හුදෙකලාව....

Saturday, May 19, 2012

කෙල්ලන්ගේ බැචෙලර් පාටියක් දුටිමි...(අම්මෝ):O






එය ටිකක් හීතල හැන්දෑවකි.ආසාව තිබ්බේ ගෙදර ඉදන් ගුලිවී නිදන්නටය. නමුත් මගේ ගජ මිතුරිය කෝල් කළේ එදා  R&B පාටියක් තියනවා යමු කියාය. කම්මැලි කමක් තිබ්බත් අපිද R&B වලට ආස ළමයි නිසා මම හා කීමි. එහි R&B පාටියට පෙර හිප් හොප් තරගයකි. ඊට තරග කරුවන් හා කාරියන් සැදී පැහැදී සිටියහ. එහෙත් අපි ගියේ නටන්නට නොව නටන්නන්ට හූ කියන්නටය. හෙළ බසින් කියනවානම් චියර් කරන්ටය.


කලින් ගිය අපිට දැන ගන්නට ලැබුනේ තරගය පටන් ගන්නට තව වෙලා තියනවා කියලාය. මමත් මගෙ ගජියත් වාඩිවී කදයක් දැමීමට පටන් ගත්තෙමු. එහෙත් අපේ කතාවට බාධා පැමිණුනේ මේස දෙකක් එහා පැත්තේ සිටි කෙල්ලන් රොත්තකගෙනි. උන් හූ කීහ. කෑ ගැසූහ.මහ පොළොව දෙදරන්නට සිනාසුණහ. කෙටියෙන් කියතොත් මොවුන්ට හොද පදමට වැදී ඇති බවය වැටහුණේ. අම්මෝ..කෙල්ලන් බිව්වාම කොච්චර දරුණු වෙනවද? කොල්ලන් තව හොදය. මන්දයත් කෙල්ලන් බිව්වාම හිනාවන්නේ ලොවටම ඇහෙන්ටය. එය ළදුන් සාමාන්යයෙන් නොබීපු වෙලාවට දමන මිණි කින්කිණි පරයන හිනාව නොවේ. මහ දරුණු හිනාවකි. එයට භූමි කම්පා හා සුනාමි ඇති කළ හැක. ඒ හිනාව ලග ඉන්නා අයගේ කන අස්සට රින්ගා මොළය කා දමයි.


තව ටිකකින් උන්ගෙන් ඇසුණේ දෙදරා යන සිනාව ඉක්මවා හිය අත්පුඩි හඩකි. තරගය පටන් ගන්න තව වෙලා ඇත. මුන් අප්පුඩි ගහන්නේ ඇයිදයි මම හැරී බැලීමි. එවිට මා දුටුවේ ඇදුම් එක එක ගලවා දමන ලස්සන කොල්ලෙකි.! කෙල්ලන් අප්පුඩි ගැහුවේ ඒකටය. බොලේ..මූට මක්වෙලාද..:O?? මැජික් බලන්නා වගේ පුදුම වී ඒ දෙස බලා සිටි මට මගේ ගජිය කීවේ 'ආ ඕක මේ කෙල්ලන්ගේ බැචෙලර් පාටියක්නේ' කියාය. කොල්ලන්ගේ බැචෙලර් පාටි ගැන මා අසා තිබුණි..ඔබද අසා ඇතයි සිතමි. අසා නැති හොද ළමයින්ට මා එය මෙසේ විස්තර කරමි. (එහෙත් එහෙම වුන් මෙහි නැති බව දනිමී.එසේ උවද කෙටියෙන් විස්තර කරමී)


ඒ කෙසේද යත්, බටහිර රටවල කොල්ලන් යුග දිවියට පිවිසීමට කලින් දිනයේ මෙවන් බැචෙලර් පාටි දමත්. එය සාමාන්යයෙන් මනමාලයාගේ ගානේ මිතුරන්ට දෙන පාටියක් වන අතර එහි අරමුණ වන්නේ මනාලයාගේ ජීවිතයේ "නිදහසේ අවසන් රාත්‍රිය" හෙවත් උගේ තනිකඩ ජීවිතයේ අවසන් රාත්‍රිය සැමරීමයි.මෙම පාටියේ අන්තර්ගතය 18+ විය යුතුමය. එසේ නැතහොත් එය බැචෙලර් පාටියක් නොවේමය. බොහෝවිට ස්ට්‍රිප් ක්ලබ් නොහොත් කෙල්ලන් ඇදුම් ගලවන සමාජ ශාලා වලට යාම හෝ ස්ට්‍රිප් කෙල්ලකට/කෙල්ලන්ට ඉන්වයිට් කිරීම මෙහි අනිවාර්ය අන්ගයකි. සැබවින්ම කසාද බැදීමට පෙර දවසේ මෙවන් අළුකුත්තේරු පාටි දමන්නේ නෝටි ඇමරිකන්ලා මිසක් අපේ රටේ කොල්ලන් නොවේමයැ. අපෙ රටේ අයියලා මල්ලිලා හැදිච්ච අහින්සක උන් නිසා ඔව්ව නොකරන්නාහුය. ස්ට්‍රිප් ක්ලබ් යාමට තබා කෙල්ලක් නේත්තරා ඉදිරියටම පැමින ඇදුම් ගැලෙව්වත් උහු අහක බලාගන්නවාය. නැතහොත් දෙනෙත් පියාගෙන පිළිකුල් භාවනාවේ යෙදෙන්නාහුයැ. ඒ අපෙ උන්ය. ඒ ගැන හිත්ද්දී මට ඇඩේ. එබැවින් ආපහු කතාවට යමි.


ඉදින් නෝටි ඇමරිකන්ලාගේ ඉහත කී විකාර රූපී පාටි ගැන මා අසා තිබ්බත් ඒ හුදෙක් කොල්ලන්ගේ පාටි ගැන පමණි. දැන් මෙහි මේ සිද්ද වන්නේ එහි ෆීමේල් වර්ෂන් එකය. එනම්,හෙට කෙල්ලක් දීග යයි; මේ ඇගේ බැචෙලර් පාටියයි. (බැචෙලර්ගේ ගැහැණු සතා බැචිලී කියා සිතන් සිටියත් එය "බැචෙලරෙට්" යනුවෙන් වර නැගිය යුතු බව ගූගල් පඩිතුමෝ මේ දැන් පැවසූහ.) එනම් ඈ ඇගේ මිතුරියන් හා එක්ව කොල්ලෙක්ගේ ඇදුම් ගලවයි.:O


මා එදෙස බැලුවද වටේ ඉන්නා කාටවත් එහි වගේ වගක් නැත. උන්ට එව්වා දැක පුරුදු හැඩකි. මගේ ගජිය කීවේ එව්ව මෙහි සුලබ බවයි. සුදු පාට ඈට මෙව්වා නෝමල්ය. අපිටනම් මැජික්යැ. එබැවින් මම මහා පහන් කූඩු රාජයා නරඹන්නාක් මෙන් බලා සිටියෙමි. කොල්ලා ගැන කියනවානම් ඌ හැන්ඩියෙකි. මුහුණ ඉතා සුන්දරය. බීමත් කෙල්ලන් ඉදිරියේ ඌ මෙලහටත් ටොප්ලස්ය. ඒකාටද එක අතකින් එය ෆන්ය. මූ එක්වරම කලිසමද ගැලවීය..! අම්මෝ! මම ඇස්පියාගතිමි. පියාගෙන හොරෙන් පමණක් බැලීමි. කෙල්ලෝ චියර් කරති. මා හිතුවේ මූ ඉතුරු එකද ගලවයි කියාය. එහෙම ගැලෙව්වොත් අරක පෙනෙන්නේය. ඒකට අපෙ මල්ලී පොඩි කාලේ කීවේ රන් කුරුල්ලා කියාය. මෙරටෙහි යමෙකු ප්‍රසිද්දියෙහි රන් කුරුල්ලා පෙන්නුවොත් දඩය රුපියල් වලින් නම් 10000කි. හොදටම අමාරු වුවද පාරේ චූ කිරිම තහනම් එබැවිනි. ස්ට්‍රිප් කොල්ලා යට එක ගැලෙව්වේ නැත්තේ එනිසා වෙන්ට ඇත. ඒ මොනවා උනත් ඒකා ලස්සනය. මේ උගේ පාට්-ටයිම් ජොබ් එක වෙන්ට ඇත. එහෙත් කවුරුත් එව්වා ගැන ඉන්ට්‍රස්ට් නැත. මන්ද යත් මෙයද තවත් රස්සාවක්ම බැවිනි. ස්ට්‍රිප් ෂෝ එක අවසානයේ ඒකා වෙන්ට මනමාලිය ඇතුළු කෙල්ලන් පිරිසට හාදු දුන්නේය. උන්ට වෙරිය. එනමුත් එන්ජෝයි කළ බව පෙණුනි. මනමාලියට තැන්කූ වෙන්න අපිත්-නෑ-මමත් ඒක එන්ජෝයි කළෙමු.


ප.ලි. අනේ මම මේ නිකමට  කියන ආගිය කතා අසා අපෙ අක්කලා/නන්ගිලා නරක ආදර්ශ නොගනිතැයි බලාපොරොත්තු වෙමි..

සද නුඹ...




නිමක් නැති අහසට
එළිය දී ගලා එන
සුමුදු සද එළිය නුඹ
මහද උතුරා ගලන…

කුමුදු මල් හිනාවෙන

රෑ යාමෙ කළුවරක
තනිව නුඹ දෙස බලන්
හෙලන සුසුමන් බෝම…

සියවසක් මහලු වුව

කුලුදුල්ය හැගුම් තව
රැයක තනි කම දරන්
හීන පොදි නිදිවරන…

දහස් තරු පිරිවරන්

සිනාසෙනු දැක දැකම
බලා උන්නත් තාම
නුඹ මගෙන් බෝ දුරය…

තරු වලට ඉඩ ඇතත්

මට ඉඩක් නැති හැඩයි
මමයි අහසයි සදයි
යාවෙන්නෙ නැති හැඩයි…

පමා වී ආවත්..වසන්තය..



ඉරිතැලුණු මහ පොළොව අතුරා
සිහින වර්ෂා ඇද හැලේවී..
නිදා වුන් කොවුලන් අවදි වී 

ගී ගයන්නට හඩ ගසාවී...
නුහුරු නුපුරුදු වස්සානයේ
මියුරු රිද්මෙට හද ගැහේවී..
කුරවි නිම්නෙට ළහිරු කැන් වැද
සුබ දසුන් තව අරන් ඒවී..

Saturday, May 12, 2012

දක්ෂිණ භාරතීය සහෝදරී, නුඹ දමනය කෙළෙමි...

   

දක්ෂිණ භාරතීය සහෝදරී, 

 

මේ හුදෙක් මාගේ හිත රිදුණු පළියටම ලියන කවක් බව සලකන්න. එහෙත් නුඹව හමුවුණු එක මගේ වාසනාවක්දැයි විටෙක මට සිතේ. පොසිටිව් තින්කින් නොහොත් පෙරළුණු පිට හොදය කීමට පුරුදු වී සිටින මගෙන් එසේ කියවීම අරුමයක් නොවේ. එහෙත් නුඹ හමුවීමෙන් මම ශාන්ති පාරමිතාව නොහොත් ඉවසීමේ ගුණය ප්‍රගුණ කළ බව නම් නොකියාම බැරිය. තමන්ගේ රටට ජාතියට යමෙක් අපහාස කරනු දැක ඉවසීම, සැබෑ ඉවසීමක්ද නැතහොත් නිවට කමද නොදනිතත්, මා ඉවසුවෙමි.


මතක හැටියට ඒ 2009 අවුරුද්දේ අග භාගයයි.ඒ අප හමුවූ මුල් දවස්ය. ප්‍රෞඩ ඉතිහාසයකට මෙන්ම සන්ස්කෘතියකට හිමිකම් කියන කේරළෙන් ආ, මනා රූ සපුවකට හා බුද්ධියකට හිමිකම් කී නුඹේ සමාගමය මම ප්‍රිය කළෙමි.  එහෙත් සියල්ල පටන් ගත්තේ එක්තරා දවසක නුඹ මා උපන් දේශයට, නැතහොත් මගේ ජාතියට ගර්හා කළ දවසේය. "හැබෑද ලන්කාවේ නුඹලා දමිළ ජාතිකයන්ට වද දෙනවාය කියන්නේ?" එකමත් එක දිනයක දිවා ආහාරයෙන් පසු නුඹ ඇසූ මේ අපූරු ප්‍රශ්නයෙන් මම උඩ ගිහින් බිම වැටෙනු මට මතකය. මා උත්තරයක් දෙන්න පළමු "ඒ නිසා නොවෙද වීරපන් ඇතුළු පිරිස එකතු වී දමිළ ජනයාගේ අයිතිය රකින්න කොටි සන්විධානය පටන් ගත්තේ?" යනුවෙන් නුඹේ වේගවත් වාග් ප්‍රහාරය නොකඩවා එල්ල විය. එය අසද්දී මා කෝපයට පත් වූ බව දැන "මම දන්නෙ නෑ, ඒත් උන් ඇවිත් රජිව් ගාන්ධි මැරූ නිසයි අපි ඒ ගැන කරදර උනේ." යයි කියූ නුඹේ මුවේ තිබ්බේ උපහාසාත්මක සිනාවකි. "නැත්නම් අපිට ඒ ප්‍රශ්නය අදාළ නෑ" යන්න ඒ සිනාවෙන් කියවුණු බවක් මට දැනුණි. කෝප වූ විට කතාකරගත නොහැකිවීම මට කුඩා කල සිටම ඇති ප්‍රශ්නයකි. කෝප වූ මගෙන් පිටවූ ප්‍රශ්නය නම් "අපේ රටේ මිනිස්සු කී දෙනෙක් මැරුණා කියලද හිතන්නේ" යන්නයි. මා කෝප වූ බව දනුනෙන් ඒ කතාව එතනින් නතර විය. ඉතිහාසය කුමක් වුවත් එය සිදු වී හමාරය. නමුත් එහිදී සිදුවූ කරුණු පදනම් කරගෙන වර්තමාන තත්වය විනිශ්චය කිරීම ගොන් වැඩකි. මා කෝප වූයේ එනිසාය.


එහෙත් ඊළග දවසේද එවැනිම සන්වාදයකින් නුඹ මට දමා ගසා, උපහාසාත්මකව සිනාසී කුරිරු සතුටක් ලැබූවෙහිය. යළිත් මා ඉවසුවෙමි. එදාම නුඹ මට හිනා වූයේ යුද්ධයෙන් පසු ලන්කාව සන්චාරක කර්මාන්තය නගාලීමට දරන උත්සාහය හෑල්ලු කරමිනි. භාරතයේ නුඹේ ජනපදය සන්චාරක කර්මාන්තයට කිරුළු පළන් අඩවියක් බව අප දනිමු. භූගෝලිය ආසන්න බව නිසා ඇති වූ සමානතාවයන් නිසා අපි දෙගොල්ලන් අතරේ සන්චාරක කර්මාන්තයට තරගයක් පවතින බවද සැබෑය. "නුඹලා කොහෙද අපිත් එක්ක දිනන්නේ" යන පදනමේ ඉදගෙන නුඹ එදා කියූ වදන් මට තවම මතකය.


තවත් දවසක නුඹ මට හිනා වුනේ රාම-රාවණ කතාව ඇදලා අරගෙනය. කතාව ඇදී ආවේ දිවාලි උත්සවය ගැන කියන විටය. "භාරතයෙ අපට නම් ලන්කාව කියන්නේ රාවණගේ ලන්කාව" යෑ කියූ නුඹෙන් මතු වූයේ සුපුරුදු උපහාසාත්මක හිනාවයි. එයට මා දුන් උත්තරය හරියටම මතක නැතත් මම පැවසුවේ හින්දු ආගමේ එම සිදුවීමට ආගමික වැදගත් කමක් තිබුනද අපට එය හුදෙක් ඉතිහාසික සිදුවීම බවත් මම හරියට ඒ ගැන නොදන්නා බව්ත්ය. එය ඇත්තය. අපෙ උන් වැඩිදෙනෙක් දීවාලි ගැන දන්නේ නැතිය. එහෙත් නුඹ හිතුවේ එදිනට භාරතය රාම - රාවණ යුද්ධයේ ජයග්‍රහණය සමරන අතර අපි පරාජය සමරමින් නොකා නොබී ඉන්නවා කියලා වෙන්නට ඇත. අපට එච්චරම අමාරුවක් නැත. තවද, නූතන ශ්‍රී ලාන්කීය පරපුර රාවණගෙන් පැවත එන බව උපකල්පනය කළ නුඹට මම පැහැදිලි කරන්න තැනුවේ විජයාගමනය යනුවෙන් යමක් සිදුවූ බවත් ඔහු පැමිණියේ නැගෙනහිර භාරතයෙන් බවත්ය, අප ඔහුගෙන් පැවත එන බවත්ය. එය ඇසූ නුඹ පුදුමයෙන් බලා සිටියා මතකය.


නුඹ හැම විටම කතා කළේ ශ්‍රී ලාන්කීය දමිළ ජාතිකයන් භාරතයට අයත් යයි යන පදනමෙහි ඉදගෙන බව වැඩි කලක් යන්නට පෙර මට වැටහුණි. අපිට ඉන්දීය ක්‍රිකට් පිළ නොරිස්සන්නා සේම නුඹලාටද අපව වහ කදුරු මෙන් වීම පිළිගත හැකි කරුණකි. ‍යන්තම්වත් නුඹ යමෙක්ව රිස්සුවානම් ඒ අපගේ මුරලිවය. මුරලි දමිළ ජාතිකයෙක් බව දැන සිටි නුඹ දිනක් දිවා ආහාරය වෙලේ ඇසුවේ මුරලිතරන් ඉන්දියානුවෙක්ද යන්නයි. ඊට පිළිතුරු ලෙස හොදවායෙන් වාග් ප්‍රහාරයක් මගේ මුවට ආවද ඒ වන විට නුඹ නිසාම ශාන්තිය මැනවින් ප්‍රගුණ කර සිටිය නිසා අපේ මුරලි  ලන්කාවේ උපන් ලාන්කිකයෙක් බවට  කරුණු පැහැදිලි කර දීමට මට හැකිවිය.


ශ්‍රී ලන්කාවට දමිළ ජාතිකයන් සන්ක්‍රමණය වූයේ කෙසේද, කවදාද ඔවුන් හුදෙක් ඉන්දියානුවන් නොවී ශ්‍රී ලාන්කිකයන් වන්නේ කෙසේදැයි නුඹට කුතුහලයක් ඇතිවී තිබූ බව මට මතකය. එසේ ඇති වූ කුතුහලයෙන් නුඹ ලාන්කීය ඉතිහාසය පිළිබදව කියවා තිබුනි. වෙන කුමක් වුවද එම රත්තරන් වටින ප්‍රයත්නය මම අදටත් අගය කරමි.


සැබවින්ම අනික් දක්ෂිණ භාරතීයයන් මෙන්ම නුඹද සිතා සිටියේ ඔවුන් ලන්කාවේ දමිළ සහෝදරයන්ගේ ශෝචනීය තත්වය ගැන අනුකම්පා කරන හා ඔවුන් වෙනුවෙන් කතා කරන වීරයන් ලෙසය. එහෙත් එක්තරා දවසක බළළා මල්ලෙන් එලියට පැන්නේය. ඒ නුඹගේ විශ්ව විද්යාල නේවාසිකාගාරයේ රස කතා අසමින් සිටියදීය. නුඹෙන් කියවුනේ එහි දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වලින් පැමිණි සිසුන්ගෙන් සමන්විත වූ බවත් බහුතරය දමිළ සිසුන් බවත්ය. ඒ සමගම නුඹෙන් කියවුනේ ඇදහිය නොහැකි වාක්යයකි. එනම් "මම නම් වැඩිය දමිළයන් සමග මිශ්‍ර වෙන්න ගියෙ නෑ" යන්නයි. ඒ සමගම මගේ මුහුණේ මතු වූ ප්‍රශ්නාර්ථ ලකුණ දැක හදිසියේ යමක් මතක් වූවාක් මෙන් ඒ කතාව නුඹ යටපත් කර දැමූ අයුරු නම් අපූරුය. එහෙත් ඒ කතාවෙන් නුඹලා දමිළ ජනයා පහත් කොට සලකන බව තේරුම් නොගන්නට තරම් මා මොට්ටයෙක් නොවෙමි. එයින් නොනැවතී තවත් තොරතුරු සොයා බැලූ මට දැනගන්නට ලැබුනේ ඒ කතාව සහසුද්දෙන්ම ඇත්ත බවය. දක්ෂින භාරතීයන් වී, ද්‍රවිඩ භාෂා පවුලට අයත් වන භාෂාවක් කතා කරමින්ම, තමන්ගේ රටේ දමිළ ජනතාව පහත් කරමින්, අනුන්ගේ රටකට ඇගිල්ල දිගු කර එහි සිටින දමිළ ජනයා වෙනුවෙන් කිඹුල් කදුලු හෙළන්නට හා සින්හලයන් යනු රාවණාගෙන් පැවත එන යක්ෂ ගති ඇති ජාතියකැයි හඩන්නට තොපට ඇති අයිතිය කුමක්දැයි මට සිතුණි.


වර්ගවාදය ඈදගෙන නුඹ කළ කෙනෙහිලි කම් වලින් නොනැවතී වරෙක ඉතිහාසයද, වරෙක අපේ ආර්ථික තත්වයද සන්සන්දනය කරමින් අදහස් දැක්වූ නුඹට ඒත්තු ගන්නන්නට වුවමනා වූයේ අපට වඩා ප්‍රෞඩ ඉතිහාසයක් හා සන්ස්කෘතියක් භාරතයට හිමි බවද, භාරතය යනු සකල සිරීන් පිරි පොහොසත් රටක්ද, ඒ හා සසදද්දී අපට කිසිවක් නැති බවය. එසේ කියද්දී, විදෙස් රටකදී තවත් විදේශිකයෙක් අතින් හෑල්ලුවට ලක් වීමේදී දැනෙන වේදනාව කෙබදුද යැයි නුඹට වගේ වගක් නැතුවා වෙන්නට ඇත. සමහර වෙලාවල නුඹ අපේ රටවල් දෙක සන්සන්දනය කරන්නට තැත් කළා මට මතකය. භාරතයේ ශ්‍රී විභූතිය ගැන නුඹ කට මැත දෙඩුවේ, අපි අපේ ලගදී පොහොසත් වූ අසල්වාසියා ගැන ඊර්ශ්යාවෙන් පෙලෙනවායැයි යන උපකල්පනයේ සිට යැයි මට නොයෙක් වර සිතුනේ නුඹ ඒ විස්තර කියනා ආකාරයෙනි. එහෙත් අපිද ඉතිහාසය උගෙන ඇත්තෙමු. භාරතයට අපට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇතිබව ඇත්තය. එමෙන්ම එකම කාලයේ නිදහස ලැබුවත්, නුඹේ දේශය ආර්ථිකය අතින් අපිට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්නා බවද අපි නොදන්න කරුණක් නොවේ. එහෙත් එය කෑ ගසා කීමෙන් හෝ අනුන් පහත හෙළීමෙන් නම් පෙනෙන්නේ ආර්ථික සමුර්ධිය කෙසේ වෙතත් ගුණ නුවණෙහි ඇති දුප්පත් කමය. අපි නුඹලාගේ දුප්පත් අසල්වැසියා බව ඇත්තය. නමුත් දැන් අපි දෙගොල්ලම මේ සිටින්නේ වෙනත් රටකය. වෙනස් මහාද්වීපයකය. අපි දෙගොල්ලම මෙහි ආවේ ඉන්දියන් සාගරය දිහාවෙනි. වෙනස් කම් කොතෙක් තිබුණ මුත්, මෙවන් විදේශයකදී අපේ සමානකම් වැඩිය. දේශපාලනික වශයෙන් අපිට එකිනෙකාගෙන් ඇත්තේ අයහපත් බලපෑම් වෙන්නට පුළුවන. එහෙත් සන්ස්කෘතික, ඵෛතිහාසික, භූගෝලීය වශයෙන් අපේ සබැදියාවක් ඇත. ආර්ථික දියුණුව යනු හැම දේම නොවේ.



නමුත් වැඩිකල් නොගොස් නුඹ මට කීවේ ලාන්කීය ඉතිහාසය පිළිබද ලියැවුණු ලිපි සමහරක් විමර්ශනය කළ බවය. මා පෙර කී ලෙසටම ඒ වනාහී රත්‍රන් වටිනා ප්‍රයත්නයකි. මන්ද යත්, නුඹ අඩු තරමින් ජාතිවාදය අලලා කළ කෙණෙහිළි කම් වත් යාන්තමට අඩු වුනේ ඉන් පසුව බව මට දැණුනු නිසා පමණක් නොවේ. යමක් ගැන කතා කරනවානම් කතා කළ යුත්තේ හරියට දැන ගෙන බැවිනි.


එතැන් සිට අද දක්වා ඔබේ අද මආ දකින සුළු හෝ වෙනස නම් අගය කළ යුත්තේ මැයි. එමෙන්ම එදා මෙදා තුර, අපේ රට ගැන යමක් කියද්දී මම කෙතරම් ප්‍රවේශම් වූවාදයි මට මතකය. රටක් නියෝජනය කරන එකම එක පුද්ගලයා වීම කෙතරම් අපහසුදැයි මට ඇතැම් විට සිතුණි. දශක තුනක් තිස්සේ රුධිරය උරා බිව් යුද්ධය ත්‍රස්තවාදී අරගලයක් මිස ජාතිවාදී අරගලයක් නොවන බව ඒත්තු ගන්නන්නට කළ තැත සාර්ථක වූවාදැයි නොදනිමි. එහෙත් උත්සාහ කළෙමි. නුඹ වැන්නියක හා කථා කිරීමද පහසු නැත. ඒ තොරතුරු ගබඩාවක් බදු වූ නුඹගේ තර්කානුකූල සුපිරි මොළය නිසාවෙනි. එක කරුණක් කියන විට නුඹ දහසක් ප්‍රශ්න අසයි. ඊට සූදානම් වීම සදහා සදහා මට ලාන්කීය ඉතිහාසය කියවීමට ඇවැසි විය. O/L ඉතිහාසය පත්‍රයටවත් එච්චර පාඩම් කළ බව මට මතක නැත. එහෙත් එයින් හෝ නුඹේ මහවුන් අපේ රට ගැන ඔළුවට දැමූ විකාර අදහස් වෙනස් වන්නේ නම් එපමණකි.  අද වන විට නුඹේ ඇතිවී තිබෙන ආකල්ප වර්ධනය අතිශයින්ම ප්‍රශන්සනීයයි. ඒ වෙනස ඇති කිරීමට මට වසරකට වඩා ගත විය. ඒ කාලය ඇතුළත මොන කතන්දර ඇහුවත්, මම නුඹේ රටට හෝ නුඹට වචනයකින්වත් අපහාස-උපහාස කළ දිනයක් මට මතක නැත. සතුරාටද මෙත් වැඩීම අපේ බෞද්ධ දර්ශනය බැවිනි. හැම විටම කටුක විනිශ්චයන් දීමට හුරු වූ නුඹේ සුපිරි මොළයෙහි යම් කිසි තෙත් බවක් ඇතිවීමට එයද හේතු වුණාදැයි නොදනිමි. නුඹේ ප්‍රහාර වලට මා ප්‍රති ප්‍රහාර දේවියැයි නුඹ සිතන්නට ඇත. එහෙත් මා නුඹ දමනය කළේ ඉවසීමෙන්මය...ඉවසීමෙන්ම පමණි..