Pages

Monday, December 10, 2012

"Needy Readers"...පොත් ඇවැසි පාඨකයන් හට...



තාරුණ්යය චමත්කාරජනක වන්නේ ආදරය නිසාය. යොවුන් හදවතක උපදින ආදරය නිසා මුළු ලෝකයම සුන්දර වන බැව් නොරහසකි. ඒ ආදරය ගැන අතීතයේ සිට දහසක් ගී පද වැල් පබැදුනද, ඒටත්  වඩා සුන්දර වූ වෙනත් අයුරක ආදරයක් ගැනය, මේ කියන්නට යන්නේ. ඒ වූ කලී, යොවුන් හදවතක, සිය සහර්ද මානවයන් කෙරේ ඇතිවන දයාව මුසු වූ ආදරයයි. හඩා වැටෙන ලෝකයෙහි කදුළු වල බර දැනෙන්නට තරම් සන්වේදී වූ තරුණ හදක උපදින සහකම්පනය මුසුවූ ආදරයයි. එබදු වූ පරාර්ථකාමී ආදරයකට ලෝකයම ජීවත් කළ හැක.

කෙළිලොල් පාසල් විය නිමා කර, සරසවියට පා තබා ගෙවූ වසර කීපය තුළ මුහුකුරා ගිය අපේ සිත් වලට දැනුණේද ඊට සමාන වූ හැගීමකි. පුරා වසර කීපයක ඇවෑමෙන් සරසවි බිමට සමුදී සමාජයට පය තබන්නට සැරසෙන කාලය තුළ, මානව සන්හතිය වෙනුවෙන් අප විසින් ඉටු කළ යුතු වූ වගකීමෙහි හා යුතුකමෙහි බර දැනෙන්නට විය. මිනිස් ජීවිතයේ වසන්තය බදු වූ යවුවනය පරිපූර්ණත්වයට පත් වන්නේද එයින් බව වැටහුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, ‘මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි’ යන සන්කල්පය මුල්කරගෙන එකතු වූ අප එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගත්තෙමු. සමාජය වෙනුවෙන් අපේ යුතුකම් ඉටු කිරීමට සන්විධානය වීමට ඉටා ගතිමු. අන්තර්ජාතික සමාජ සන්වර්ධන සන්විධානය බිහි වූයේ එලෙසය.
සන්විධානයෙහි පලමු අදියර ලෙස අප තෝරා ගත්තේ අඩු පුස්තකාල පහසුකම් ඇති පාසල් වලට පොත් බෙදා දීමේ ව්යාපෘතියකි. “නීඩි රීඩර්ස්” (“පොත් ඇවැසි පාඨකයන් හට”) යනුවෙන් නම් කළ එම ව්යාපෘතියේ අරමුණ වූයේ, කියවීමේ පිපාසයෙන් පෙළෙන එහෙත් පොත් පත් හිග කමින් පෙළෙන් පාඨක දරුවන්ට අවශ්ය සම්පත් සපයා දීමය. ඒ අනුව කරන ලද සමීක්ෂණයකින් ඉතා අඩු පුස්තකාල පහසුකම් සහිත පාසල් කිහිපයක් තෝරා ගැණුනි. එම පාසල් වල විදුහල්පතිවරු ඇතුළු ගුරු මඩුල්ලෙන් අපට ඊට සහයෝගය ලැබුණි. ලද අවසරයෙන් සිසු දරුවන්ගේ අදහස්ද ලබා ගත්තෙමු. ඔවුන්ගේ දෙනෙත් වල දැල්වෙන බලාපොරොත්තුව දුටු විට අපේ අදිටන තවත් තර විය. පුස්තකාලයේ රාක්ක වල තවත් ඉඩ ඇත. ඒ දුටු මට ළමා කාලයේ මගේ සිහින ලෝකය වර්ණවත් කළ ටොම් සෝයර් හා ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ද, ගැටවර වියේදී මානව වේදනාව කියාදුන් බෙන්ගාලි කත්න්දරවල සිටි අපූර්වද, මගේ ලෝකයේ වීරයා බවට පත් වූ රුසියානු විප්ලව නායක පාවෙල්ද සිහිපත් විය. මගේ පෞරුෂය හා ආකල්ප ගොඩ නැන්වීමට ගුරුවරු මෙන්ම මා කියවූ පොත් පත්වල දායකත්වයද අති මහත්ය. වාසනාවකට ඊට ඇවැසි සම්පත් අපට තිබුණි. එපරිද්දෙන්ම, පුන්චි තක්සලාවේ හිද ලොකු හීන දකින පුන්චි වුන්ගේ ලෝකයද දැනුමෙන් පිරවීමට අපි ඉටා ගත්තෙමු. 

ඒ අතර තුරේදී අපට දැනගන්නට ලැබුනේ පසුගිය දිනවල ඇති වූ ගින්නකින් මැගසින් බන්ධනාගාරයේ පුස්තකාලයෙහි පොත් විශාල ප්‍රමාණයක් විනාශ වූ බවය. කියවීම සැබවින්ම මිනිසා සම්පූර්ණ කරයි. සම්පූර්ණත්වය කෙසේ වෙතත්, ජීවිත කථාවේ කිසියම් තැනක වූ වරදකින් අසම්පූර්ණත්වයට පත් බන්ධ නාගාර රැදවියන්ගේ ජීවිතයට කිසියම් අස්වැසිල්ලක් ගෙන දීම උදෙසා පුස්තකාලය නැවත පොත් වලින් පිරවීමට පොරොන්දු වුණෙමු. එනයින්, පාසල් වලට සීමා වූ අපගේ පොත් පරිත්යාග කිරීමේ වැඩ පිළිවෙල තවත් පුළුල් විය. පොත් 1500ක් එකතු කිරීම ආරම්භයේදී අපේ අරමුණ විය. එතැන් සිට ක්‍රියාත්මක වූ අප විසින් පිළියෙළ කෙරුණු දැන්වීම් මගින් අපගේ ව්යාපෘතිය පිළිබද පණිවුඩය සයිබර් අවකාශය හරහා මුදා හැරුණි. කෙතරම් හොද ක්‍රියාවක් වුවද මෙහි සාර්ථකත්වය රදා පවතිනුයේ අපට සමාජයෙන් ලැබෙන සහයෝගය අනුවය. එහෙත් ආත්මාර්ථයම මුල් කරගෙන වේගයෙන් කැරකෙන වත්මන් ලෝකය අපේ ඉල්ලීමට කන් දේවිද, ගෙන්දගම් පොළවට ළගදී පය ගැසූ නාදුනන්නන් වන අපගේ හැගීම  සමාජය හදුනා ගනීවිද යන සැකයද පටන් ගැන්මේදී හිතේ කොනක නොතිබුණාම නොවේ.

එහෙත්, ලොවේ අප හිතුවාට වඩා සුන්දර හදවත් ඇත්තන් බොහොමයක් ඇති බව අවබෝධ වන්නට වැඩි කලක් ගියේ නැත. දිනෙන් දින අන්තර්ජාලය හරහා ලැබුණු යහපත් ප්‍රතිචාර ඊට සාක්ෂිය. දිවයිනේ විවිධ ප්‍රදේද වලින් පරිත්යාග කරන්නන් ඉදිරිපත් විය. එසේම ඉතා කෙටි කාලයක් තුළ අපේ කණ්ඩායමට තවත් සොහොයුරු සොහොයුරියන් රැසක් එක්විය. ඔවුන්ගේ උනන්දුව අපව පුදුම කරවන සුළු විය. දිරිමත් වූ අපි සිරිලක පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන M.ඪ් ගුණසේන සමාගම, ස්. ගොඩගේ, සහ සරසවි පොත් සමාගම් හමුවූයේ අපගේ සමාජ මෙහෙවරට ගැන දැන්වීමටය. දැනුම බෙදා ගැනීමේ අපේ සත් කාර්යය ඉතා ඉහලින් අගය කළ එම සමාගම් වල විධායක මදුල්ල අපට උපරිම සහයෝගය දැක්වීය. නොබෝ දිනකින්ම, මුලදී 1500 වූ සීමාව සති කිහිපයක් ඇතුලත පොත් 5000 අභිබවා ගියේය. එසේම සැප්තැම්බර් මාසයේ බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශන භූමියටද මෙම පණිවුඩය රැගෙන ගිය අපට එහිදී හමුවූ පරිත්යාගශීලී පාඨකයෝ ප්‍රදර්ශන කුටි වලින් අළුත්ම පොත් මිලදී ගෙන දීමට තරම් කාරුණික වූහ. පොත් සන්ඛ්යාව 10,000 ඉක්මවූයේ බලා සිටියදීය. එකතු වූ අළුත් පොත් වල සුවදවත් පිටු අතරින් පාසලේ පුන්චි වුන්ගේ බලාපොරොත්තු සහගත දෑස් අපට මැවී පෙණුනි. විනාශ වූ පුස්තකාලයේ ගිනි තැබූ අකුරු වෙනුවට අළුත් පොත් වල අකුරු තුළින් ජීවිතයේ පශ්තත්තාපය සන්සිදගැනීමට බලා සිටින මැගසින් බන්ධනාගාරයේ රැදවියන්ගේ මුහුණු සිහිවිය.

පොත් එකතු කිරීමට මාස ගණනක් තිස්සේ දැරූ මහන්සිය මල්ඵල ගැන්වීම ඇරඹුනේ විශ්ව ළමා දිනයෙනි. ඒ, රාජගිරිය සිරිහද විද්යාලයේ පැවැත්වූ ළමා දින සැමරුම් උළෙළෙහිදී ප්‍රාථමික අන්ශයේ දරුවන්ට පොත් බෙදා දීමෙනි. එසේම ප්‍රාථමික පන්ති වල දරුවන් වෙනුවෙන් පැවැත්වූ චිත්‍ර තරගයකින් හොදම චිත්‍ර තෝරා ත්යාග වශයෙන් පොත් පිරිනැමුණි. ළමා දින උත්සවය ළමයින් තම සිහින ලෝක වලින් ගෙනා වර්ණයන්ගෙන් සිත්තම් විය. පුන්චි සිත්තරුන් වේදිකාවට නැග තාය ලබා ගත්තේ අපේ දෙපා අල්ලා වැදීමෙන් පසුවය. ඔවුන්ට අපව ලොකුවට පෙනෙන්නට ඇති මුත්, ඔවුන්ගේ එම ක්‍රියාව, තවමත් වැඩිහිටියන් නොවූ අපගේ හදවතේ පත්ලම ස්පර්ෂ කලේ දෙනෙතට කදුලක්ද නන්වමිනි.

දැනුම බෙදීමේ මෙහෙයුමෙහි ඊළග අදියර වූයේ හන්වැල්ල සිරි සුමන ජෝති විද්යාලයේ අප විසින්ම සන්විධානය කරන ලද පොත් ප්‍රදානෝත්සවයයි.එම උත්සවය සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව  අපේ හිතට දැනුන සතුට සහ සන්සිදීම වචන වලට හැරවීම නම් අපහසුය. මුදිතා ගුණය යනුවෙන් බුදු දහමේ හදුන්වන්නේ අන්යයන්ගේ සතුට දැක සතුටු වීමනම්, එවන් වූ ප්‍රීතියක් ඇති වන්නේ එකී මුදිතා ගුණය මුල් කර ගෙනමය. 
එසේම මෙමෙ මහගු කාර්යභාරය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය වූ සැමටම, යටත් පිරිසෙයින් එක් පොතක් හෝ පරිත්යාග කළ පාඨකයාගේ සිට, මූලයමය හා ද්‍රව්යමය අනුග්‍රහය දැක්වූ සියළුම අනුග්‍රාහක සමාගම් වලට, අපගේ පණිවුඩය සමාජයට දීමට උදව් වූ රූපවාහිනී නාලිකා හා පුවත්පත් වලට අපගේ නොමද ස්තූතිය පිරිනැමේ. එම සහයෝගය නොවන්නට, සිසුන් කිහිප දෙනෙකුගෙන් ඇරඹුණු කුඩා ප්‍රයත්නය මෙතරම් කෙටි කාලයකදී මෙවන් මහා පරිමාණයේ පොත් පරිත්යාගයක් බවට නොපෙරළෙනු ඇත. දැනට ඇති සම්පත් වලින් අපට තවත් සුවහසක් පාඨකයන්ගේ දැනුම පිපාසය සන්සිදවීමට අවස්ථාව ලැබී ඇත.
                       එසේම අපගේ මෙහෙවර සාර්ථකව නිමා කිරීම නිස ඇතිවූ ප්‍රීතිය නිස දැන් සිතේ ජනිත වී ඇත්තේ අසීමිත වූ ශක්තියකි. සහර්ද මානවයන් කෙරේ වූ අසීමත් වූ දයාවකි. තවත් මෙවැනි සමාජ සත්කාරයන් තව තවත් ඉටු කිරීමට දැඩි වූ කැමැත්තකි.ඊට අවසරයක් ලැබෙන තුරු අපි බලා සිටිමු.


Saturday, July 7, 2012

දුයිෂෙන් සහ ගී කියන පරවියෝ...



ඒ මනරම් ගිම්හාන සැන්දෑවක්...උණුසුම් කාලගුණය නිසාත් සති අන්තය පටන් ගන්න යන නිසාත්, ප්‍රීතිමත් මිනිසුන්ගෙන් ෆැරැන්ස් චතුරශ්‍රය පිරිලා තිබුණා. ඩැනියුබ් ගග දෙසින් නගරය දිහාට සුළග හමාගෙන ආවෙ අපෙ එළිමහන් සැදෑ සාදයට ආව අමුත්තෙක් වගෙ...හදුනන, නාදුනන ආරාධිතයන් අතරෙ, දුයිෂෙන්ගෙ සිනා මුහුණ දැක්කත්, දයිවය මාව ඒ සාදයට යැව්වෙ ඔහුව මුණගස්සන්නමයි කියලා මට ඒ වෙලාවෙ හිතුණෙ නැහැ. “මම සන්ගීත කරුවෙක්, ගුරුවරයෙක්”. දුයිෂෙන් තමන්ව අදුන්වල දුන්නෙ එහෙමයි. ඔහු මා එක්ක කතා කලෙ වසර ගානක් තිස්සෙ දන්න කෙනෙක් වගෙ. ගීයක් ගයන්නැයි මට ආරාධනා කළ ඔහු මට “පුන්චි පරවියා” කියලා නමක් පට බැන්දා. "පුන්චි පරවියො, නුඹෙ හඩ ඉතාම ලස්සනයි, ඒත් නුඹ හදවතින් ගයන්න ඕනෑ..” දුයිෂෙන් ඔහුගෙ හඩින් ගයලා පෙන්නුවා. ඒ හඩ ආවෙ ඔහුගෙ ආත්මයෙන්මයි කියලයි හිතුණෙ. එදා රෑ ඔහුගෙ නැටීම නම් ඉතාම ලස්සනයි.. සාදය ඉවර වෙලා මම ගියෙ ඔහුට සුබ පතන්න. “නුඹව ආයෙත් මුණගැගෙන බව මට විශ්වාසයි”. දුයිෂෙන් කීවා. එදා රෑ මම වැෂලීනි පාර දිගේ ගෙදර ගියේ ඔහු ගැයූ ගීය මුමුණමින්..

හිතුව හැටියටම අපි දෙවන වරටත් හමුවුණා. “දුයිෂෙන්, ගී ගයන්න ඉගෙන
ගන්න මට ඔබෙ උදව් ඕනේ”. “පරවියො, නුඹට පුළුවන්, නුඹ දන්නවා. නුඹ වගෙ පුන්චි පරෙවියන්ට පුළුවන් ඕනෙ හැටියට ගයන්න”. ඔහු කියයි. “දුයිෂෙන්, මිනිස්සුන්ට ඇහුණොත් උන් හිනාවේවි. පරවියො ගී ගයන්නෙ නැහැ".
“අහපන්, හැම කුරුල්ලෙක්ම ගී ගයනවා. මිනිස්සුන්ට ඇහෙන්නෙ නැහැ, ඔවුන් ආදරය කරන්න දන්නෙ නැහැ. ඔවුන් දන්නෙ තමන්ට ඇහෙන දේ විතරයි.” දුයිෂෙන් මට උගන්වන්න පොරොන්දු වුණා. ඒත් පුදුමයකට වගෙ මට ගයන්න බැරි වෙලා තිබුණා. කොච්චර උත්සාහ කළත්, අර යකඩ කට ඉස්සරහට ගියාම මගෙ හඩ නැති වෙන්නෙ ඇයි...? “නිර්භීත වෙයන්, උඹෙ ආත්මයෙ නිදා ගෙන ඉන්න කුරුල්ලාව එලියට දමාපන්..ඌට නිදහසේ සින්දු කියන්ට ඉඩ දීපන්”..මම උත්සාහ කළා, කිහිප වරක්ම. ඒත් මට ගී කියන්න බැරි වුණා. “ප්‍රශ්නය තියෙන්නෙ නුඹෙ හිතේ. දුයිෂෙන් කෝප වුණා. උඹ උඹෙ හඩ හිරකරගෙනයි ඉන්නෙ. මෝඩ පරෙවියා, නුඹට ඕනෙ තරුවක් වෙන්නද?” දුයිෂෙන් කිව්වෙ කෝපයෙන්.

එදා ඉදන් මම උත්සාහ කළා මාස ගානක් යනකම්. හදවතින් ගයන්න කියලා දුයිෂෙන් කීවත්, මගෙ හදවත ගල් වෙලා වගෙයි දැණුනෙ. මට දැනෙනෙ විදිය ලෝකෙටම ඇහෙන්න කියන්න ඕනේ වුණත්, මගේ හිතිවිලි හිර වෙලා එළියට එන්න බයේ ඉන්නව වගෙයි දැණුනෙ. දුයිෂෙන්ට මගෙ හිත කියවන්න පුළුවන් නම්…අන්තිමේදි ඔහු මගෙ හිත කියවන්න උත්සාහ කළා.
“පුන්චි පරවියො, නුඹෙ සිතිවිලි වලට නිදහසේ ගලන්න ඉඩ දීපන්”  ඔහු කියන බව මම දැන හිටියා. “මම උත්සාහ කරනවා දුයිෂෙන්. ඒත් මගේ හිත හිර වෙලා”. දුයිෂෙන් මගෙ හිත කියවන්න පටන් අරන් කියලා මට දැණුනා. 

 “පුන්චි පරවියො..උඹ මෙච්චර දුර ඉගිලිලා ආවෙ ඇයි? ඉර එළිය දකින්න නැති, මහ සාගරය දකින්න නැති මේ කාපාතියා කදු වලල්ල උඹට සීතල වැඩි නැද්ද?” ඔහු ඇහුවෙ කරුණාවෙන්. “දුයිෂෙන්, මම ආවෙ ජීවිතය හොයාගෙනයි” මම කීවෙ විශ්වාසයෙන්.
“මේ අහපන් පරවියො, පලයන් උඹ ආපු දිහාවට. උඹ ආපු දූපතට ආපහු ඉගිලිලා පලයන්. සමහර විට එහි ඇති හුරු පුරුදු මල්, ගහ කොළ, ප්‍රීතිමත් හිරු එළිය, මූදෙ ලොකු රළ ගෙඩි දුටුවාම උඹට ගී ගයන්නට හිතේවි. නුඹ ආයෙත් හිනා වේවි”.

“දුයිෂෙන්, ඒත් මට උදව් කරන්න ඔබ එහි නැහැ”

“පරවියා, දෙවියන් උදව් කරනවා. මම ඒක දන්නවා” ඔහු කීවෙ විශ්වාසයෙන්.

“දුයිෂෙන්, ඔව්, විශ්වාසයි, මට පුළුවන් වේවි. කාපාතියා කදු වලල්ලට සමු දීලා මම යනවා. මගේ දූපතේදි මම ගී ගයන්නම්”

“පලයන්, ෆෙරි කන්ද මුදුනින් හැමදාම හවසට ඉන්දියන් සාගරය දිශාවට ඉගිල්ලෙන යෝධ කුරුල්ලාට කියපන්, ඌ උඹව ගෙදර අරන් යාවි”. 

“දුයිෂෙන් මම යන්නම්. මග බලන් ඉන්න කෙනෙක් නැති වුණත්, ඉක්මනටම යන්නම්”

“එහි දැන් වසන්තයද?”

“දුයිෂෙන්, මගෙ දූපතට හැමදාම වසන්තයයි”

දුයිෂෙන් හිනාවුණේ ආදරයෙන්. ඔහු මා වැළද ගත්තා.

“දුයිෂෙන්, ස්තූතියි ඔබෙ කරුණාවට”

“පුන්චි පරෙවියො, පරෙස්සමින් හිටපන්. දෙවියන් ඔබ සමග රැදේවි. නුඹෙ හඩ නුඹ තුළම තියනවා. එය හොයා ගත් දවසට, ලෝකෙටම ඇහෙන්න ගයාපන්…”


(සැබෑ කථාවක් ඇසුරිණි...)

Thursday, June 14, 2012

දළඹු ගීතය..



මම පුන්චි දළඹුවෙක්..
හෙමි හෙමින් ඇවිදින
කවුරුවත් ආස නැති කැත බූව වලින් පිරි

දළඹුවෙක්..
ඒ වුනත් කවද හරි...
සමනළෙක් වෙනවලු මමත්
පාට පිහාටු තියන
මලින් මලට ඉගිලෙන
ලස්සන පාට සමනළයෙක්...
එතකොට..
මගෙ තටු මොන පාට වේවිද..
කොයි තරම් ඈතට ඉගිලෙන්න හැකිවෙයිද.. 
එදාට හැමෝම මන් දිහා බලාවි..
ඉතින් තව කොච්චර කල් යයිද..
සමන
යෙක් වෙන්න…
සතියක්-මාසයක්-නෑ ඊටත් වැඩි වේවි
ඊට කලින් මම මැරේවිද..
ඒ වුනත්..
සමනල් පිහාටු ලස්සන වුනාට
හරිම සියුමැලියිලු
යන්තමට බිදිල ගියොතින්
මැරිල යන්නත් හැකිලු
ඒ වු
ත් කමක් නෑ..
දළඹුවෙක් වෙලා ගෙවන
මේ ජීවිතේට වඩා,
සමනළයෙක් වෙලා මැරෙන එකත් හොදයි... 
අඩු ගනනෙ මට ලෝකෙන්
ආදරේ  වත් ලැබේවි නෙ…
එ වුනත් මම තාම දළඹුවෙක්...
කවුරුවත් ආස නැති කැත බූව වලින් පිරි
දළඹුවෙක්...

Thursday, June 7, 2012

කතන්දර..



මේ තරම් කතන්දර..
කොහෙන්දෝ හිතට
කතා නොකරම හිටියද 
කල්ප ගානක්.. 
වදන් නොමැතිව හිටියද 
කියා ගන්නට..
කෙනෙක් නැතිවම හිටියද..
කියා දෙන්නට..
හිතේ තිබුනද..මේ හැම කතන්දර..
මුදා ලන්නට හැකිනම් 
මේ කතා හිස් අහසට.. 
කුරුල්ලන් වගේ ඉගිලිලා යන්නට..
කෑ ගසා කියන්නට
ලෝකෙටම ඇහෙන්නට...
අඩු තරමෙ නුඹට වත් ඇහෙන්නට....
හිතේ ගුලි වුණු කතන්දර...

Thursday, May 24, 2012

මම බයයි උඹට...



මම පොඩි කාලෙ ඉදලම උඹට තිබුනෙ පුදුම බයක්. මම කොහේ ගියත් හැමතිස්සෙම බය උනා උඹ මගෙ ළගට එයි කියලා. උඹ මගෙ ලගට එනවා කියලා දැනුනොත් මම දුවගෙන යනවා කාව හරි හොයාගෙන. පොඩි කාලෙ ඉදන්ම උඹෙ තියන නපුරු කම මම දැනන් හිටියාමම වෙලාවකට හිතුවා කවුරුවත් උඹට කැමති නැති නිසා මාව හොයන් එනවද කියලාඒත් මම දැක්ක සමහරු උඹට කැමති බව. මම හිතුවේ උන්ට පිස්සු කියලා."උඹත් එක්ක මනුස්සයෙකුට ඉන්න පුළුවන්ද..?" මම එහෙම හිතුවා.අපේ අම්මලා මම පොඩි කාලේ කවදාවත් මාව උඹ එක්ක තියල ගියෙ නෑ. ඒත් ටිකක් ලොකු වෙද්දි ගොල්ලන් උඹව විශ්වාස කරන්න පටන් ගත්තා. මාව උඹ එක්ක තියලා, මාව දාලා ගියා. කරන්න දෙයක් නැති කමට මම උඹ එක්ක හිටියා.  

මම ටිකක් ලොකු වෙද්දි උඹ මගෙන් පලා ගියා. මට යාළුවො ගොඩක් හිටපු නිසා වෙන්න ඇති. අපේ මිත්‍ර සමාජයට උඹට එන්න ඉඩක් තිබ්බෙම නෑ. කාලෙදිත් මට උඹට තිබුණු අකමැත්ත වැඩි මිසක් අඩු උණෙ නෑ. කාලෙදි මට එක එක අය මුණ ගැහුණා. මම කා එක්කත් ආශ්‍රය කළා. කවුරු උණත් උඹට වැඩිය හොදයි , උඹ එක්ක ඉන්නවට වැඩිය ඕන කෙනෙක් එක්ක ඉන්න එක හොදයි කියලයි මම හිතුවෙ. මම දැනගෙන හිටියා, මගේ යාළුවො මාව දාලා ගියොත් උඹ මාව හොයාගෙන එනබව. ඒක හින්දා මම සමහරු නපුරු යාලුවොත් එක්කත් හිටියා, උන්ගේ කෙණෙහිළිකම් විදගෙන. පුළුවන්කමකට නෙවෙයි. උඹට තියන අකමැත්ත නිසා. උඹ මගෙ ළගට එනවට කැමති නැති නිසා. ඇත්ත, අකමැත්තටත් වැඩිය මට තිබුණෙ බයක්. මම මේ ලෝකෙ බයම කෙනා උඹ වෙන්න ඇති. අනිත් ගොඩක් අය වගේ මමත් කැමති පුළුවන් තරම් උඹව අඩුවෙන් ආශ්‍රය කරන්න.

 ඒත් කොහොම උනත් අන්තිමේදි හැමෝම මාව දාලා ගියා. උඹ හෙමිහිට මට කිට්ටු වෙනවා මට දැණුනා. මම උඹව අදුරන්නෙ නෑ වගෙ මග අරින්න හැදුවා. ඒත් හරි ගියෙ නෑ. දරුණු, නපුරු, අදුරු ගති ඇති උඹෙන් බේරෙන්න ලේසි නැහැ. උඹෙන් පලා යන්න මට බැරි වුනා. උඹ මගෙ ඔළුව ඇතුළට රින්ගලා මගෙ මොළය කා දමනවා වගෙ මට දැණුනා. මම මගේ යාළුවන්ගෙ නම් කියලා කෑ ගැහුවා. ඒත් කාටවත් ඇහුණෙ නැහැ.

ඒත් ටික කාලයක් ගියාම මම උඹට හුරු උණා වගෙ. පොඩි කාලෙ ඉදන් හිතපු තරම්ම උඹ නපුරු නෑ වගෙ කියලා ටික ටික හිතෙන්න පටන් ගත්තා. අඩු තරමින් අර උඹ එක්ක ඉන්න වෙනවට කියල මම හිටපු දරුණු මිනිස්සුන්ට වඩා උඹ හොදයි. උඹට තියන බයට, මම උන් එක්ක ඉදලා කර ගත්තෙ මෝඩ කමක්. උන් මගෙ කාලය විතරක් නෙවෙයි ජීවිතෙත් නාස්ති කරලා කියලා මට දැණුයි තෙරෙන්නෙ. උන් දැනන් හිටියා මම උඹට බය බව. ඒකෙන් උන් කොච්චර ප්‍රයෝජන ගත්තද. අපරාදෙ එහෙම වුනේ. ඒත් තාමත් මම උඹට එහෙමටම කැමති නැහැ. කොහොම උණත් සමහර වෙලාවල් වලට උඹ එක්ක ඉන්න මම කැමතියි. සමහර විට මගෙ වටේ ගොඩක් අය ඉදිද්දිම උඹත් මා එක්ක ඉන්නවා. සමහර විට මම උන්ට බොරු හිනාවක් එක්ක හොද මූනක් පෙන්නලා උඹ එක්ක කතා කර කර ඉන්නවා. සමහර වෙලාවට වැඩ වලින් පීඩනයට පත් වුණාම පැත්තකට වෙලා හිත සන්සුන් කර ගන්න උඹ මට උදව් කරනවාමට මන් ගැනම ගොඩක් දේවල් උඹ කියලා දුන්නා. පාඩම් වෙන කිසිම යාළුවෙක්ගෙන් ඉගෙන ගන්න බැරුව ඇති. මම ඉස්සරට වැඩිය උඹ එක්ක හොද යාළුකමක් ඇති කරගෙන කියලයි හිතෙන්නෙ. කොහොම වුණත්, උඹේ තියන අදුරු ගතිය නිසා, මට උඹ එච්චරම ප්‍රිය මනාප නම් නැහැ. මොකක් හරි හේතුවක් නිසා උඹ එක්ක ගොඩක් වෙලා ඉන්නත් මම බයයි. ඒත් කවුරු හරි ඇහුවොත් මම කියනවා උඹ මගෙ හොද යාළුවෙක් කියලා. ඔව්උඹ මගෙ හොද යාලුවෙක්..............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................හුදෙකලාව....