Pages

Sunday, June 23, 2013

ගැහැණු ළමෝ...


අද මගේ ජීවිතේ ලොකු හීනයක් හැබෑ උණා...
පුන්චි කාලෙ ඉදන් මගෙ හිතේ ලොකු ආසාවක් තිබුණා...


ඒ තමයි, මෙහෙණින් වහන්සේ නමකගෙන් බණ අහන්න...

අද, ශ්‍රී බුද්ධ වර්ෂ 2557 වූ පොසොන් දින ඒ හීනය හැබෑ වුණා...

අද මම සිල් සමාදන් වුණේ උඩුපිල මහමෙව්නා අනගාරිකා අසපුවෙ. පළවෙනි වතාවට පොසොන් දිනක කසාවත් පෙරවා ගත් මෙහෙණින් වහන්සේලාගෙන් ධර්මය ශ්‍රවණය කළා. තවමත් යොවුන් වියේ උන් උන්වහන්සේලාගේ සුමධුර හඩින් ජීවිතයේ අනිත්යය ශ්‍රවණය කරන විට හිත පැහැදිලා ජීවිතයේ සැබෑ තතු වැටහුණා. ගැඹුරු ධර්ම කරුණු සරලව වටහා දෙන විට උන්වහන්සේලාගේ ප්‍රඥාව කෙතරම්දැයි සිතුණා.

වසර කිහිපයකට කලින් ඒ මෙහෙණින් වහන්සේලාත් අපි වගේම ජීවිත ගෙවන්න ඇති. සාමාන්ය ගැහැණු ළමයි විදියට ජීවිතය ගෙවන්න ඇති..දැන ගන්න ලැබුණු විඩියට හුගක් මෙහෙණිවරුන් ඉතාම ඉහලට ඉගෙනීම ලබපු අය. ඒ අතර ඉන්ජිනේරුවරියකුත් ඉන්නවා. නොපෙනෙන හීන හැබෑ කරගන්න දුවන තරගයෙන් මිදිලා, දුර්ලභ වූ උතුම් මනුෂ්ය ජීවිතයේ පල නෙලා ගෙන භයානක සන්සාරයෙන් මිදෙන්න ඒ ජීවිතයට ලැබුණු දහිරිය හා වාසනාව අපිට නැත්තෙ ඇයි කියලත් හිතෙනවා. අපි සන්සාරයට ඇලිලා. කම් සැපයට ඇලිලා, මුලාවෙලා ඔහේ රවුමක කැරකෙනවා. මෙහෙණි ජීවිතය වෙනුවට ඔවුන් විවාහ ජීවිතය තෝර ගත්තා නම් මිය යනතෙක්ම ගිහි ජීවිතයේ ප්‍රශ්න, දරුවන්ට තියන බැදීම, කරදර, ගැටීම් එක්ක තවත් සසරටම බැදෙනවා...







ඒත්, ඒ මෙහෙණින් වහන්සේලා ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයාක, ලෞකික මාර්ගයත් ලෝකෝත්තර මාර්ගයත් අතරින් ඉතා නිර්භීත විදියට,වඩා දුෂ්කර එහෙත් නිවැරදි වූ ආර්යෂ්ටාන්ගික මාර්ගය තෝරා ගෙන ලොව්තුරා බුදු රජාණන්වහන්සේගේ ශ්‍රාවක දියණියන් බවට පත් වුණා. ඒ ජීවිත ඉතාම වාසනාවන්තයි...


මේ තියෙන්නෙ අනගාරිකා පැවිදි පින්කමේ වීඩියෝ දසුන්..







පින්වත් මෙහෙණි වහන්ස, මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්යය අවබෝධ කරගැනීමට ඔබට වාසනාව ලැබේවා..!



Saturday, June 8, 2013

ගුරුතුමී සහ සමනලුන්...



තරූෂයි ඉශානුයි 2 B පන්තියෙ හිටපු හොද යාළුවෝ. මේ පුන්චි යාළුවො දෙන්නට දෙන්න හරිම ආදරෙයි. ඉශාන් පොහොසත් ගෙදරක හුරතලේට හැදුණු පුන්චි පුතෙක්. තරූෂ  ටිකක් දුක් කරදර මැද හැදුණු දුප්පත් දෙමව්පියන්ගෙ දරුවෙක්.

2 වසරෙදි යාළුවෝ දෙන්නම හරි හරියට වගෙ ලකුණු ගත්තා උණාට තරූෂ ඉශාන්ට වඩා දක්ෂයි. ඉශාන් ගත්ත තරමක් ලකුණු ගත්තෙ නම් තරූෂගෙ උදව්වෙන් තමයි. ඉශාන් ගෙදර වැඩ කරගෙන ආවෙ නැති දවස්සට තරූෂ ඒව කරල දෙනවා. ඉශාන්ට බැරි ගණන් වලට තරූෂ උදව් කරනවා. 2 වසරෙ පන්තියෙ ගුරුතුමී හැමදාම තරූෂගෙ රචනාව පන්තියටම ඇහෙන්න කියවනවා. ඒ වගේම ඉශානුත් එයාට පුළුවන් විදියට තරූෂට උදව් කරනවා. ඉශාන්ගෙ අම්මයි තාත්තයිත් තරූෂට ගොඩක් ආදරෙයි. තරූෂ ඉගෙන ගන්න දක්ෂයි කියලවත් ඉශාන්ට සල්ලි තියෙනවා කියලවත් ඒ දෙන්නා අතරෙ කවදාවත් තරගයක්වත් ඉරිසියාවක්වත් තිබුණෙ නෑ. 2 වසර පන්තියෙ ගුරුතුමී මේ දෙන්නටම හරිම ආදරෙයි.




2 වසර පන්තියෙන් 3 වසර පන්තියට යනකොට පන්ති වෙන් කළාට කොහොම හරි තරූෂ සහ ඉශාන් එකම පන්තියට වැටුණා. පන්ති භාර ගුරුතුමිය අනූෂා කියලා ලස්සන උස සුදු ටීචර් කෙනෙක්. යාළුවො දෙන්න අළුත් අවුරුද්දේ අළුත් වාරයෙ පන්තියෙ වැඩ පටන් ගත්තෙ හරිම ආසාවෙන්. 3 වසර ගුරුතුමී හරිම ලස්සනයි, තරුණයි. හැබැයි ටිකක් වසයි. ළමයි ගෙදර වැඩ කරන්නෙ නැතුව ඉස්කෝලෙ එන්න හරි බයයි ටීචර් ගහන නිසා. තරූෂට නම් අමුතුවෙන් බය වෙන්න දෙයක් තිබුණෙ නැත්තෙ එයා පන්තියෙ වැඩ හොදට කරන දක්ෂ ළමයෙක් නිසා.


හැබැයි ටික කාලයක් යද්දි තරූෂගෙ පුන්චි හිතට හේරුණු දෙයක් තිනුණා. 2 වසර පන්තියෙ ගුරුතුමී වගේ නෙවෙයි, අනූශා ටීචර් පන්තියේ හැම ළමයෙකුටම "එක හැන්දෙන් නෙවෙයි බෙදන්නෙ" කියලා. ටීචර්ට එයාගෙ "ෆේවරිට්" ළමයි හිටියා. ඒගොල්ලො පන්තියෙ වැඩ කළත් නැතත් ටීචර්ට ඒගොල්ලන්ව හොදයි. අනික් ළමයි වැඩ කළත් නැතත ඇයට ගානක් නැහැ. වැඩ නොකළොත් බනිනවා. ඒත් හොදට වැඩ කළත් අගය කිරීමක් නැහැ. මේ අතර තව කාණ්ඩයක් හිටියා. ඒ ළමයි ටීචර්ට පේන්නෙ තරහ කාරයෝ වගේ. ඒ ළමයි මොනවා කළත් ඈට වැරදි. තමන්ගෙ "ෆේවරිට්" ළමයින්ව නම් හැමතිස්සෙම හුරතල් කර කර ඉන්නවා. වැඩේ කියන්නෙ ඒ කාණ්ඩෙ හිටියෙ එක්කෝ ඉශාන් වගේම ඉස්කෝලෙ ගාවට කාර් එකෙන් ඇවිත් බහින ළමයි. එක්කෝ සුදු ළමයි, ලස්සන ළමයි, එහෙමත් නැතිනම් ඉස්කෝලෙ අනික් ටීචර්ලගෙ ළමයි. ටීචර් අකමැති කණ්ඩායමේ හිටපු ළමයි එක්කෝ දුප්පත් දෙමව්පියන්ගෙ ළමයි, නැත්තම් ඒතරම් ලස්සන නැති ළමයි, නැත්තම් කළු ළමයි. ටීචර් පන්ති නායක කම දෙන්නෙත් එයා කැමති ළමයින්ට.

පන්තියෙ පුන්චි එව්වොන්ට මේ දේවල් පේනවා,පුන්චි හිත් වලට මේව දැනෙනෙනවා. අපේ ඉශාන් හිටියෙ ටීචර්ගෙ ෆේවරිට් ළමයි ගොඩේ. ගණන් හැදුවත් නැතත්, ගෙදර වැඩ කළත් නැතත්, ටීචර් ඉශාන්ට බනින්නෙ නැහැ. මොනව හරි දග වැඩක් කළත් කම්මුල මිරිකලා නිකන් ඉන්නවා.


අවාසනාවකට වගේ පුන්චි තරූෂ හිටියෙ ඇය අකමැතියි කියලා වෙන් කරපු ළමයි ගොඩේ. තරූෂගෙ පවුලේ විස්තර ටීචර් දැනගෙන හිටියා. ඒත් කිස්ම අනුකම්පාවක් නෑ. තරූෂ කොච්චර හොද උණත් කිසිම අගය කිරීමක් නැහැ. තරූෂගෙ පොත ටීචර් බැලුවෙත් ඕනවට එපාවට. ඒකත් පුන්චි හරි වැරැද්දක් හොයන්න බලාගෙන.

මේ වෙනස පුන්චි හිත් වලට හොදටම දැණුනා විතරක් නෙවෙයි, ඒ ගොල්ලන්ගෙ ජීවිත වලට තදින්ම බලපෑවා. ඉශාන්ට ඉගෙන ගන්න තිනුණු ඕනෙ කම නැත්තටම නැති වෙලා ගිහින් හොදටම දග ළමයෙක් උණා. ඉස්සර ටීචර්ට බයේ ගෙදර වැඩ, පන්තියෙ වැඩ කරපු ඉශාන් දැන් කිසිම දෙයක් ගණනකට ගත්තෙ නැත්තෙ තමන් මොනව කළත් ටීචර් මොනවත් කියන්නෙ නෑ කියලා දන්න නිසයි. ගුරුතුමීගෙ සැලකිලි නිසා ඉශාන් දැන් ටිකක් ආඩම්බරයි. දග වැඩ කරනවා. නිතර ටීචර්ට කේළම් කියනවා.


අනිත් අතට තරූෂ පන්තියේ වැඩ කරන එක ටිකත් අඩු වෙලා ගියේ තමන් මොනවා කළත් ගුරුතුමී බනින බව තේරුම් ගත්ත නිසයි. ඔහුට තමන්ගෙ අඩු පාඩු පෙනෙන්න ගත්තා. එක දවසක් ටීචර් බැන්නෙ පරණ පොත් වල නොලියපු පිටු එකතු කරලා හදාගත්තු පොතක ලියනවා දැකලා..ගෙදරින් අලුත් පොත් අරන් දෙන්නෙ නැද්ද කියලා ඇය උපහාසයෙන් හිනා උණා..මේ ඔක්කොම දුප්පත් කම නිසා නේද කියලා හිතපු පොඩි එකා මානසිකව වැටුණා...


ඒ මදිවට දැන් ඉශාන්ගෙයි තරූෂගෙයි යාළු කමත් වැට උඩ වගෙයි. ඉශාන්ට අළුත් යාළුවො ඉන්නවා. තරූෂගෙ ලෝකය තවත් කඩා වැටුණා.

පන්තියෙ තීන්ත ගාන දවසෙ ඉශාන්ගෙ දෙමව්පියන්ටයි, තරූෂගෙ දෙමව්පියන්ටයි එන්න බැරි උණා. ටීචර් ඉශාන්ට වචනයක්වත් කිව්වෙ නැහැ. ඒත් තරූෂට ළගට අඩගහලා ඔහුගෙ දෙමාපියන්ට හොදටම දෙස් තිබ්බා, ළමයා ගැන වගකීමක් නෑ කියලා. අම්මලාට බනින කොට තරූෂගෙ පුන්චි හිතට ආවෙ ලොකු දුකක්."ඇති" තැනයි "නැති" තැනයි වෙනස පුන්චි එකාට දැන් හොදට තේරෙනවා.



ටික දවසකින් වාර විභාගය ආවා. ඉශාන්ගෙයි තරූෂගෙයි ලකුණු කවදාවත් නැති විදියට හොදටම අඩුයි. ලකුණු පරීක්ෂා කිරීමේදි 3 වසර භාර ගුරුතුමිය මේ ගැන හොයලා බැලුවා. තරූෂ හුගක් දක්ෂ ළමයෙක් බව ඇය දැනගෙන හිටියා. පන්තියේ සිද්ද වෙන වෙනස් කම් ගැන ඇයට දැන ගන්න ලැබුණා. කතන්දරේ විදුහල්පතිතුමිය ගාවටම ගියා. විදුහල්පතිනිය ළමයි දෙන්නගෙම දෙමව්පියන් එක්ක කතා කළා. එහෙන් ඉශාන් අකීකරු, කියන දේ අහන්නෙ නැති ඉස්කෝලෙ වැඩ නොකරන දග ළමයෙක් වෙලා. තරූෂ හැම තිස්සෙම ඉන්නෙ දුකෙන්, කේන්තියෙන්. හැම වෙලේම කල්පනා කරනවලු. කවදාවත් නොකරපු විදියට අම්මලා එක්ක රණ්ඩු වෙනවලු, අළුත් පොත්, ඇදුම්, සපත්තු එහෙම ඉල්ලලා.

කරුණාවන්ත විදුහල්පතිනියට සිද්ද වෙලා තියන දේ තේරුණා. ඈ පන්ති භාර ගුරුතුමිය ගෙන්නලා අවවාද කළා. ළමා කාලය කියන්නෙ ජීවිතයෙ පදනම, ඒ කාලයෙ ළමයින්ගෙ මනසට වැටෙන දේවල අනුවයි ජීවිතය හැඩ ගැහෙන්නෙ. තමන්ගෙ පුද්ගලික කැමැත්ත, හැගීම් අනුව වැඩ කිරීමෙන් ගුරුතුමී මේ කරන්නෙ පුන්චි එවුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමක් කියලා විදුහල්පතිනිය පැහැදිලි කළා.

ඒ කතාව අහගෙන හිටියත් ගුරුතුමියට කියන්න හේතු තිබුනා. තමන්ගෙ වැරැද්ද පිළිගන්න ඇය ලෑස්ති නැහැ. ඒ විතරක් නෙවෙයි, අහින්සක ළමයින්ට බනින්න ඇයට තිබුණු "සාධාරණ" හේතුත් ඉදිරිපත් කළා. හිතුවක්කාර ගුරුවරියක් නිසා අසරණ දරුවන්ගෙ ජීවිත නාස්ති වෙන හැටි ඇයට පෙනුණා. 

පුන්චි ළමයිනුත් සමනල්ලු වගේ. උන්ට එක එක පාට පියාපත් තියනවා. සමහරක් පිහාටු හරිම ලස්සනයි. දැක්කම ආස හිතෙනවා. සමහර උන්ගෙ පිහාටු එච්චරම ලස්සන නෑ. ලස්සන උණත් නැති උණත් මේ පිහාටු හරිම සියුමැලියි..පිහාටු කැඩිලා බිදිලා ගියොත් උන්ට නැති වෙන්නෙ ජීවිතේමයි..පිහාටු ලස්සන උණත් නැතත් උන් පියාඹනවා..ඒ උන් සමනල්ලු නිසා....