සුදු ගවුම රැළි තියා මැද, පොත් මිටිය තුරුළු කර
වැව් කණ්ඩිය දිගේ ඉස්කෝලෙ ගියපු
අපෙ අක්කණ්ඩි..
රෑ දවල් නැතිව ඔහෙ කියවන්න
ඔච්චම් කරල හිනාවෙන්න
රෑ තිස්සෙ පිලේ ඉද කවි කියන්න
ළග උන්න අක්කණ්ඩි....
කඩුලු වැට පැන ගෙපැලට වැදෙන ජීවිතේ දුක පසක් වී
තක්සලාවෙන් ගෙට ගෙනා සහතිකේ බිම තියා
නුඹ ගිහින් පුරවරට කසී සළු පිළි වියන්නට...
හිරු දෙයියො කෝප වී රකුස් බැල්මන් හෙලන
අග නුවර කාෂ්ටක ගින්න නුඹ දවාවිද
රළු බැණුම්, නිමක් නැති කෙණෙහිලි අස්සෙ
කාන්සිය කෝම නම් දරාවිද
සරුව පිත්තල සළෙල වන්කගිරි වීදියේ
අතරමන් නොවී ගෙදර යාගනිද...
වැට අයිනෙ පීදෙන ගැට පිච්ච මල් ගහේ
මලුත් පර වී ගිහින්..
දෙණිය ළග මලිත්තන් හඩාවී...
නුඹ ආවෙ නැති දුකට...
බක් මහේ අහස කළු කර
හීන් සිරිපොද වැටෙන කොට
මල් ගවුම වැලෙන් ගෙට ගන්ට
මිදුල අහ බැලෙනව පුරුද්දට...
රැය ඇවිත් ගෙදරට කළුවරත් අරගෙන
ඉමක් නැති හීන නිදි බිදින කොට
අම්මාගෙ වියපත් පන් පැදුර දිහාවෙන්
හීන් ඉකියක් ඇහෙනව යන්තමට...
වෙල් දෙණියෙ දුව පැන්න, තරගයට ඔරු පැද්ද
අපට මොන කහවණුද
හැමදාම නැති උනත්, දිනක් ඇර දිනක් වත්
දවල් බත ඉදේ නම්
ඔය හීන මාලිගා තවත් මොන එහෙකටද..
ඔය වියමන අතෑරල
ඊලගට එන කෝච්චියෙන්..
ඔන්න ඔහෙ ගෙදර වරෙන්..
මම වැඩකරපු තැනක් මතක් වුනා.
ReplyDeleteඒ ලමයි මැරීගෙන වැඩ කරල සොච්චම් පඩියක් අරන්,
බෝඩිමට ගානක්, ගෙදරට ගානක් වෙන් කරන හැටි මතක් වුනා.