Pages

Monday, February 4, 2013

නන්ගිට හැදිච්ච අමුතු ලෙඩේ!



වැලි කෙළියෙ ඉදන් මගෙ හොදම මිතුරිය වූ ඈ එක කුස නූපන්නත්, මගේම නන්ගී වගේය. ඈ මගේ පුන්චම්මාගේ දුවය. පොඩි කාලෙ ඉදන් එකට හැදුණු අපි දෙන්නා ඉස්කෝලෙ ගියෙත් දහම් පාසල් ගියෙත් එකටය. සීනි බෝල කෑවෙත්, කෝම්පිට්ටු හැදුවෙත්, සෙල්ලන් ගෙවල් හැදුවෙත් එකටමය. ලොකු මහත් වුණාට පසුව හොර ලියුන් ලීවෙත් එකටමය. මම සරසවියෙ අවසන් වසරේ ඉන්නා විට නන්ගී උසස් පෙළ ලියමින් සිටියාය. අපි දෙන්න වෙන් උනේ දේශ සන්චාරයට මා තුළ තිබූ පිපාසය
නිසාය. සරවිය අවසන් කළ මට ඔනෑ කළේ රටින් පලා යන්ටය. ඒ ඉගෙන ගන්නවත්, සල්ලි හොයන්නවත් ඇති උනන්දුව නිසා නොවෙයි. ඉබාගාතේ ඇවිදීමට මගේ සහජයෙන්ම තිබූ ආසාව නිසාය.

පුන්චි කාලේ මන් හීන දැක්කෙ නැවකට නැගී මහ සයුර තරණය කර ලෝකෙ වටේ යාමටයි. අමුතු භාෂාවල් කතා කරන අමුතු මිනිස්සු අතර අතරමන් වීමටයි. ඒනිසා උසස් අද්යාපනය නම් වූ මොකක්දෝ එකක් මුවාවෙන් හදිස්සියෙ හමුවෙච්ච නැවකට නැගුණු මම පාවී ගියේ "ඇවුරෝපා" නම් වූ මහද්වීපයකටය. ඒකෙත් අමුතුම හා සුන්දරම කොටසක් වූ නැගෙනහිර පැත්තටයි.

 එහි ගොස් ටික දවසක් යනවිට මට තේරුණේ මම අලි අමාරුවක වැටී ඇති බවයි..! මෙය පුදුම රටකි. මෙහි මිනිස්සු තම මව් බස හැර වෙන බසක් කතා කරන්නේ නැත. දැනගත්තත් කතා කරන්නේ නැත. ඉන්ග්‍රීසි කතා කරනවාදැයි ඇසූ විටද මුන්ට මල පනිති..! කඩයකට ගියත්, මහපාරේ ගියත් ප්‍රශ්නයක් අසන්න වෙන්නේ අතින් පයින්ය..මට පාළුවක් දැණුනි..ඉන්ග්‍රීසි බසින් ඉගෙන ගත්තද මෙරටෙහි බස නැතිව පවතින්නට අමාරු හැඩකි..සන්නිවේදන බාධක නිසා වෙච්ච වැඩක්..! මට ගෙදර මතක් විය..

නන්ගී නැති පාළුව මුලින් මට තදින්ම දැනෙන්ට විය. එය ටිකක් හරි තුනී වුණේ මට ටික කලකින් තවත් 'ගජියක්' හමු වීම නිසාය. ඇගෙ නම අන්ද්‍රියාය. අප දෙදෙන හමු වූයේ මෙසේය. දවසක් භාෂා විද්යා දේශනයේදී එක් සිසුවියක් පන්තිය ඉදිරියේ කථාවක් කළාය. ඇය ඇමෙරිකානු ජාතික සිසුවියකි. මා එසේ සිතුවේ ඇගේ උච්චාරනයෙනි. ඇගේ කතා විලාසය චතුරය. හප්පේ! හොලිවුඩ් ෆිල්ම් එකක් බලනවා වගේය. ඈ කථාව අවසන් කර ඇවිත් වාඩි වුනාය. ඇමරිකානු ජාතිකයෙක් මට කලින් හමු වී නැති නිසා ඉඩ ලැබුණු වෙලාවක ඈ හා කතා කරන්නට සිතා ගත්තෙමි. එහෙත් පුදුමයකට මෙන් මිනිත්තු කීපයක් යන්නට පෙර ඈ තවත් සිසුවියන් එක්ක මෙරට භාෂාවෙන් වතුර ලෙස චතුරව කථා කරන්නට ගත්තාය.! හෑ! මම පුදුම වුණි. ඇය ඇමෙරිකානු ජාතිකයෙක් නොවන මුත් වසර දෙකක් ඇමෙරිකාවේ ඉගෙන ගත් බව දැන ගන්නට ලැබුණි. වැඩි දිනක් යන්නට පෙර අප දෙදෙන මිතුරු විය. ඇගේ නම අන්ද්‍රියා විය. ඈ මගේ හොදම "ගජිය" විය. ඈ ලෝකයේ විවිධ භාෂාවල් ගැන මෙන්ම සන්ස්කෘතීන් ගැනද ඉගෙනීමට ආශා කළාය. අප දෙදෙනා හිතන්නේ එකම විදියටයි. ඈ එක්ක මම අපෙ පවුලේ අය ගැනත් අපේ නන්ගී ගැනත් බොහෝ දේ කතා කළෙමි. අන්ද්‍රියා මට ඇගේ භාෂාව ඉගැන්නුවාය. මාද එය ඇගේ උදව් ඇතිව මැනවින් ඉගෙනගත් බැවින් එයින් මගේ භාෂා ප්‍රශ්නය විසදුනි. ඈ මගේ රට ගැන බොහෝ දේ අසා දැන ගත්තාය. එපමණක් නොව සති කීපෙකින් සින්හල හෝඩියෙ අකුරුද ලියන්න පුරුදු වුණාය! 


කලක් යන විට මම තවත් මිතුරන් ගොඩක් අදුන ගත්තෙමි. සරසවියේ කථන හා භාෂා චිකිත්සා අන්ශයේ සිටි එකම ශ්‍රී ලාන්කිකයා පමණක් නොව එකම ආසියාතිකයාද මම විය. මා හා කථා කිරීම හා අපේ රට, සන්ස්කෘතිය ගැන දැනගැනීම ඔවුන්ට අපූරු අත්දැකීමක් විය. අපේ රටේ ඇති වනාන්තර, ශාක හා සත්ව විශේෂ, ඉන්දියන් සාගරයේ සුන්දර වෙරළද ගැන ඇසූ මගේ මිතුරන්, "පාරාදීසයක් වගේ රටකින් ඇවිත් ඔයා මෙහෙ මොකද කරන්නෙ?" යයි අසති..ඊට දෙන්න උත්තරයක් මට තිබ්බේ නැත..!

තව මාස කීපයක් යත්ම ටිකක් පුදුම දෙයක් සිදුවුණි. කිසි යම් හේතුවකට මාව සරසවිය තුළ ප්‍රසිද්ධ වී තිබෙන හැඩකි.
එරටෙහි භාෂාව මැනවින් ඉගෙන ගත් නිසා ඉන්ග්‍රීසි පමණක් කථා කළ අනෙකුත් විදේශික සිසුන් අතර මා සුවිශේෂ විය. දවසක් තේ කාමරයේදී දෙවන වසර සිසුන්ට භාෂා වේදය (ෆයිලොලොජි ) දේශනය කරන එරිකා ෂ්මිට් මෙනෙවිය කතාවට සැට් විය. අදුරන්නේ නැති දෙන්නෙක් එක ලග සිටියොත් තමාව අදුන්නලා දීම මෙරටෙහි සිරිතය. "හෙලෝ එරිකා මගෙ නම අශාන්ති". "ඔහ් ඔයාද ඒ??" ඈ පුදුම වී ඇසුවාය. "ඔයා ශ්‍රී ලන්කාවෙන් නේද?" මම උඩ ගියෙමි. ඇගේ අපේ වසරට දේශන කරන්නේද නැත :O "ඔබ මාව දන්නවද?" මම හොල්මන් වූ ගමන් අසමි. "අහ් ඔයා හරි ප්‍රසිද්ධයි නේ" මම ඩබල් හොල්මන්ය. 
"ඔයා හරිම ලස්සනට අපේ භාෂාව කතා කරනව කියල තමයි අහල තියෙන්නෙ. අපේ භාෂාව විදේශිකයන්ට ලේසියෙන් අල්ල ගන්න පුළුවන් එකක් නෙවෙයි. කතා කරන අය ඉන්නව හැබැයි උච්චාරණය හොද නැහැ. ඔයා හරියටම ඔයාගෙ මව් බස වගේ ලේසියෙන් කතා කරනව කියල ළමයි කිව්වට මම විශ්වාස කළේ නැහැ. දැන් මගේ කන් දෙකෙන්ම ඇහුවනෙ" ඈ සිනාසුණාය. "ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන. ඔයා මෙහෙද ඉපදුණේ?" "නැහැ" "එහෙනම්? අවුරුදු කීයක් මෙහෙ හිටියද?" "මම ඇවිත් මාස 5යි". 
 "මොකක්?? විහිළු කරනවද? මාස 5කින් ඔච්චර ලස්සනට කතා කරන්න ඉගෙන ගත්තෙ කොහොමද? දැන් හොල්මන් වී ඇත්තේ ඈය."කොහෙද ඔයා පන්ති ගියෙ?" "මම කවදාවත් පන්ති ගියෙ නැහැ. මගෙ යාළුව තමයි ඉගැන්නුවෙ. මම එයා එක්ක ප්‍රැක්ටිස් කරනවා. පුළුවන් හැම වෙලේම අනික් අයත් එක්කත් කතා කරනවා." ඈ පුදුම වී බලා සිටියි. "ඔයා තමා මට හමුවුණු පළවෙනි කෙනා, මෙච්චර ලස්සනට කතා කරන. ඒකත් මෙච්චර කෙටි කාලෙකින්. අවුදු 20ක් තිස්සෙ මෙහෙ ඉදලත් කතා කරන්න බැරි අය මට හම්බෙලා තියනවා.ඔයා නම් පුදුම ළමයෙක්" 
"මට කියන්න" ඈ කුහුලෙන් අසයි. "මොකක්ද ඔයාගෙ මව් භාෂාව" "සින්හල" "අහා, ඉන්දු ආර්යන් භාෂාවක් නේද ඒක? සන්ස්කෘත වලින් සම්භවය වෙලා තියෙන්නෙ, එහෙම නේද?" "ඔව්" "මම එහෙම ඇහුවෙ ඒක ටිකක් හරි අපිට කිට්ටු භාෂාවක්ද කියල බලන්න, ඔයා එච්චරටම හොදට කතා කරනවා...එතකොට, ඒ කියන්නෙ..සින්හල කථා කරන අයට භාෂාවල් ඉගෙන ගන්න ලේසිද නැත්තම් ඔයාගෙ දක්ෂ කමද? නැත්තන් දෙකමද?" මම සිනාසුණෙමි. මගෙ මුහුණ මටම නොපෙනුණත්, එය ශ්‍රී ලාන්කිකයන්ට උරුම නිහතමානී සිනාව බව මට දැණුනි.

"පොඩ්ඩක් ඉන්න..සින්හල වලට ලගම භාෂාව හින්දි නේද?" "ඔව්. හින්දියි, බෙන්ගාලියි" 

"ඒත් මට කොච්චර ඉන්දියානුවො මුණගැහිල තියනවද?. සමහර අය මෙහෙ පුරවැසි භාවය අරගෙන අවුරුදු ගානක් මෙහෙ. මට අඩු ගානෙ ඒ ගොල්ලන්ගෙ ඉන්ග්‍රීසි වත් තේරෙන්නෙ නැහැ. හරිම අමුතු උච්චාරණයක්..."මට ලන්කාවෙ කෙනෙක් හමු වුණු පළවෙනි වතාව..හින්දි භාෂාව ඔයාලට මෙච්චර කිට්ටු වෙලත් ඔච්චර ලොකු වෙනසක්..? මම ඒ ගැන තව විස්තර හොයාගෙන කියවන්න ඕනේ...ඔයා එක්ක කතා කරන්න ගොඩක් ආසයි..ඉක්මනටම ආයෙත් හමු වෙමු.." කියූ ඈ දේශනයකට නික්ම ගියාය. පිටරටකදී ඇතිවන ශ්‍රී ලාන්කීය අභිමානය මටද දැනෙන්නට විය. :)



                                        ************



තුන් වසරකින් දේශ සන්චාරය අවසන් කළ මම ගෙදර එන්නට පිටත් විය. මම මගෙ හොදම මිතුරිය අන්ද්‍රියාගෙන් වෙන් වුනේ ගොඩක් දුකෙන්. නන්ගීව මතක් කරන ලෙසත් ඈ සින්හල අකුරු ඉගෙන ගත් බව ඇයට කියන ලෙසත් අන්දෘෂ්කා මගෙන් ඉල්ලීමක් කළාය. ඈ කවදා මුත් මා බැලීමට අපේ රටට එන බවත් එදාට සින්හලෙන් කතා කර මගේ පවුලේ අයව පුදුම කරවන බවත් ඈ කීවාය. මගේ පුන්චි මිතුරිය ගැන මට ආදරේ හිතුනි.

ගෙදර ආවෙමි. ගෙදර අය හොදිනි. නන්ගී දැන් බැන්කුවේ රැකියාවක් කරයි. පිටරට ඉදිද්දී අම්මා අප්පච්චි එක්ක ගොඩක් විට කතා කළද නන්ගීව මට මග හැරිලාම ගියේ ඇගේ වැඩට යන වෙලාවල් අමුතු හින්දාය. ගොඩක් විට ඈ වැඩ කරන්නේ රෑටය. අන්තිම අවුරුද්දේ අපි දෙන්නා කතා කළේම නැති තරම්ය. එනිසා පුනරාගමනයෙන් ඊළග දවසෙ මම පුන්චම්මලාගේ දිහෑ ගියේ නන්ගී බැලීමටය.

"ආනේ ලොක්කි" පුන්චම්ම කෑ ගෑවාය. "හිටපු විදියමයි, චුට්ටක්වත් වෙනස් වෙලා නෑ. හැබැයි ටිකක් මහත් වෙලාද මන්ද. නන්ගි නිදි, මන් ඇහැරවන්නම්"

නන්ගී මා දැක ඈ පස්වනක් පීතියෙන් පිනා ගියාය. මේ අවුරුදු ගානට නන්ගී ගොඩක් ලස්සන වී ඇත. රීබොන්ඩ් කරන ලද ඇගේ කොන්ඩෙ පාට පාටය. නහයේ කඩුක්කමකි. කකුලේ ටැටූ එකකි. ටිකක් වෙලා ඈ හා කතා කරද්දී මට වෙනසක් දැනුණි...! බොලේ! යසට හිටපු නන්ගීට අමුතු ලෙඩක් හැදී ඇත..!


ඈ සින්හල බස හසුරුවන්නේ අමුතු විදියටයි..! කතා කළ වචන වලින් සියේට අනූවක් ඉන්ග්‍රීසි වූ අතර අතරින් පතර කියූ සින්හල වදන් ඉන්ග්‍රීසිද සින්හලද යැයි හොයා ගන්නට බැරි තරම් විකෘතිය...:O අනේ හත් දෙය්යනේ..වෙච්ච වින්නැහියක්..ඈ "ට" යන්න කියන විට ඇහෙන්නේ "ච" යන්නයි. ඊයා! මට අප්පිරිය හිතුනි. "ර" යන්නද මහ අන්ගවිකලය. ඈ වැඩ කරනවාය කිව්වේ ඉන්ගිරීසි අකුරු හතරේ බැන්කුවකය. එකත් එකටම මේ ඒකෙ අතුරු ඵලයකි..!

ඈ දිගින් දිගටම මගෙන් ඇසුවේ මා එහෙදි ෂොපින් කරපු තැන්, අහවල් බ්‍රෑන්ඩ් එකේ පර්ෆියුම් එහෙ තියද, මම ගෙනාවෙ කවර බ්‍රෑන්ඩ් එකේ ඇදුම්ද ආදියයි. මගේ අප්පිරියාව වැඩි විය.  ඈ ඇසූ කිසිම දෙයක් මම ගෙනත් තිබුණේ නැත. "මොනාද අනී..අවුරුදු 3ක් රට හිටියට වැඩක් නෑ ඔයා වැඩකට ඇති දෙයක් ගෙනල්ල නෑනි"..මම ගෙනාව වැඩකට ඇති දේවල් ගැන මම දනිමි. එව්වා ඈට වැඩක් නැති උනාට මට කරන්ට දෙයක් නැත. නන්ගී මෙච්චරටම වාණිජකරණයට ලක් වුණේ කෙසේද? මම කළකිරෙමි..

ගෙදර එන්න පිටත් වෙන්න කලින් මට කතා කර ඇගේ ෂොපින් ලිස්ට් එක දෙන්න බැරි වීම ගැන ඈ පසු තැවිලි විය.

"ඇයි බන් ඔය තියන ඒවා මදිද? කන්ණාඩි මේසයක් පුරෝල සැන්ට් කුප්පි..හැම මාසෙම මොකක් හරි සරුවාලයක් ගන්නවා..මාසෙ පඩියම ඉවරයි ඇදුම් වලටයි ඇගේ උලන එව්වටයි.  ඒ මදිවට ඔය ගහන සැන්ට් ජාතිවලින් කවද හරි අමුතුම ලෙඩක් හැදෙනවා...ඔය තියන එකක් පාවිච්චි කරහන්".පුන්චම්මා කෑ ගායි.

"අයියූ ඒවා ලෝකල් බ්‍රෑන්ඩ්ස් නෙ අම්මෙ. මගෙ යාළුවෙක් ලගදි ගත්තා ඉම්පෝටඩ් පර්ෆියුම් එකක්. මටත් ඕනෙ ඊට වඩා හොද එකක්.තව එයා ගත්ත අමූතු සුවදක් තියන හෙයා ඔයිල් එකකුත්. ඒක ජර්මනි වලින්ලු.." 

නන්ගී කට ඇද කර ඇගේ අමුතු බසින් කියයි. මට මතක් වුනේ මගෙ නේවාසිකාගාරයේ සිටි ජර්මන් ජාතික ජොඈන්ය. ඈ ඇගේ ගෙදරින් ගෙනා කොන්ඩා අලේපනය විසි කර දැමුවේ එයින් සමට ඇති අතුරු ආබාධ ගැන සිතාය. එසේ කර ඇය නගරයේ තිබූ ඉන්දියානු වෙළද සැලකින් ඖෂධීය හෙනා ආලේපනයක් ගල්වන්නට ගත්තේ මෙවැනි ස්වාභාවික ශාකසාර වලින් තැනූ ආලේපන ඉතා දුලබ බවත් ඇගේ රටේ නම් මෙය ඉතාම් මිල අධික බවත් පවසමිනි. පෙරදිග ස්වාභාවික නිෂ්පාදන වලට බටහිර රටවල ඇති ඉල්ලුම දන්නා ඉන්දියානුවෝ ඔවුන්ගේ දේශීය භාණ්ඩ එහි විකුණා මිලියන ගණන් උපයති. අපේ හරක් බටහිරින් ඉවතලන් වස විස මිලදී ගන්ට මාසෙ පඩියම වැය කරති..!

"පොඩ්ඩක් හිතපන් ශානි..කීයක් හරි ඉතුරු කරගන්න ඕනෙ නැද්ද? රෑ නිදිමරාගෙන වැඩ කරල හොයන සල්ලි ඉවරයි සුකුරුත්තන් වලට. අඩු ගානෙ උඹ ගෙදරින් කෑම එකක් ගෙනියනවද?" පුන්චම්මා බනියි.

"එහ් මොකෝ කෑම ගෙනියන්නෙ නැත්තෙ." මම පුදුම වෙමි.

"දන්නෙ නැද්ද අනී අපෙ ඔෆිස් එකේ කෙල්ලො. උන් හැමදාම මැක් එකෙන් හරි කේ. එෆ්. සී එකෙන් හරි තමයි කෑම ඕඩ කරන්නෙ. ගෙදරින් කෑම ගෙනිච්චොත් උන් මට හිනාවෙයි. අම්මා හදන්නෙත් හරි ගොඩේ කෑමනෙ"...

...මට වමනෙට එන්ට වගේය. මුන් නම් අම්මප බත් කන හරක්ය. මැක් ඩොනල්ඩ්ස් යනු සවුක්කියට ඉතාම අහිතකර ෆාස්ට් ෆුඩ් නිෂ්පාදනය කරන්නන් ලෙස හන්වඩු ගසා ඇති බව පුන්චි එකෙකු වුව දනිතැයි මම සිතා සිටියෙමි. ඇමරිකාවේ මිල අඩුම ආහාර වේලක් ගන්නට කෙනෙක් යන්නේ ඒකටය. ඊට පින්සිදු වන්නට තරබාරු කම, දිය වැඩියාව හා හර්ද රෝග වලින් පෙළෙන ජනයා ජීවත් කරන්නට ඇමෙරිකානු රජය ඩොලර් කෝටි ගණනින් වියදම් කරයි!
පුන්චම්මා ගෙදර උයන නිවුඩු හාලේ බත් වල හා ගොටුකොළ මැල්ලුමක ඇති ගුණයෙන් සියේට දහයක් එහි නැත. මගේ නන්ගී ඒකට පයින් ගසා වස විස පිරි ෆාස්ට් ෆුඩ් ජරාව කා කෝක් බොයි...! මෙව්වාට කියන්ට වචන නැත. ජුගුප්සා ජනකය. ඊයාය. කක්කාය. 

අපේ රට නිදහස් කීවාට නිදහස් නැති හැටියකි. අපි තවදුරටත් අප ගැන ආඩම්බර නැත. අපි තවමත් අධිරාජ්යවාදයේ ගැත්තන්ය. අපි කළුහම ඇති, සුද්දන්ට කත් අදින පිරිසක් වගේය. අපූරු කතාව කියන්නේ අපි එය දන්නේ නැත..! අපේ රට නිදහස් යැයි උදම් අනා මුන් යළිත් බටහිරට හැරී වන්දනා කරත්... අප වන්දනා කරන බටහිර අධිරාජ්යය බන්කොලොත් වී යමින් පවතී. එහෙත් අපි එතැනටම වැදගෙන සිටිමු...


මට මගේ පුන්චි මිතුරිය අන්ද්‍රියා සිහි විය. හැබෑටම මගෙන් සින්හල උගත් අන්ද්‍රියා දැරිවි මීට ලස්සනට සින්හල කතා කළා කීවොත් අතිශ්යෝක්තියක් නොවේම‍යැ..! ඈ සින්හල අකුරු උගත්තාය. එය ඈට අලුත් අත්දැකීමක් විය. ඈ කීවෙ මා බලන්ට ඇවිත් නන්ගී එක්කත් සින්හල කතා කරන බවය. අනේ කෙල්ලෙ දැන් නම් එයින් පලක් නැත. අපෙ නන්ගි එක්ක කතා කළොත් ඔය දන්න ටිකත් පැටලිලා මොළේ කොලොප්පන් වේය. ඒ මොකද දැන් මේකි කතා කොරන්නෙ සින්හල නෙවේය. වෙනත් දේශයක සිට දුරු කතර ගෙවාවිත් ඈ දැකීමට බලාපොරොත්තු වූ පාරාදීසයේ මිනිස්සුන් ඈ හිතුවාට වඩා වෙනස්ය. ඒ වෙනස මම දැන සිටි වෙනසකි.එහෙත් එය මට පෙනෙන්නේ දැන්ය....උන් "පොෂ්" යන වචනයකට මුලා වී තමන්ගේ රටේම ආගන්තුකයන් වී අතරමන් වී සිටිති..

අන්ද්‍රියා කෙල්ල ඉන්ග්‍රීසි කතා කළේ ඉන්ග්‍රීසි ලෙසය. නිකම්ම ඉන්ග්‍රීසි නොව චතුර ඉන්ග්‍රීසි ලෙසය. සිය මව් බස කතා කළේ මව් බස ලෙසය. අසුරු ගසන සැනෙකින් භාෂා කිහිපයක් අතර මාරුවන්නට ඈට හැකිය. නමුත් ඒ එක භාෂාවකින් අනෙකක උච්චාරණයට කිසිසේත්ම බලපෑමක් නැත..! අපෙ එකී ඉන්ග්‍රීසි ටිකක් කට ගා ගත් පමණින් මව් බස විකෘති කළාය. ඈ ඇමෙරිකානු හෝ බ්‍රිතාන්ය ඉන්ග්‍රීසි කතා නොකරයි. එහෙයින් ඉන්ග්‍රීසි මව් බස ලෙස කතා කරන අයට ඇගේ ඉන්ග්‍රීසි අමුතුය. ඔය කියූ රටවලට ගියොත් ඈ කළු හම ඇති දකුණු ආසියාතිකයෙකි. එතකොට මේ රටේදී ඈ මොකෙක්ද? ඉන්ග්‍රීසි සින්හල දෙකම බැරි එකියෙක්ද? ඈ අයිති කොහාටද? ඈට රටක් නැත්ද?

නන්ගී පාටියකට යාමට සූදානම් වෙයි. ඈ පුන්චම්මා කීවාක් මෙන් සරුවාලයක් ඇදගෙන ආවාය. ටික වෙලාවකින් ඇගෙ කොලුවා අජානීය තුරගෙකු පිට නැග ආවේය. ඌ කෙල්ලෙක්ද කොල්ලෙක්ද යන්න සොයාගැනීමට මට ටික වෙලාවක් ගතවිය..."දුවේ බත් කාල යන්න. අද කීයටද එන්නෙ..රෑ වෙන්න එපා එදා වගේ..' පුන්චම්ම කෑ ගසයි. ඒත් ඒ ඇසෙනා මානයෙන් ඈ ඉගිල ගොස් හමාරය...  



38 comments:

  1. මේ අපේ උන් පොස් වෙන්න හදන හැටි නොවැ..

    මම හොදට දැකල තියෙනවා ඔය කැටයම් දාගෙන ඒම්.සී වල කැරකෙන, ෂොප් වල කැරකෙන කෙල්ලන්ට අතේ පිච්චිය නැහැ. හොදට ඇදල, හොද ෆෝන් එකක් කනේ ගහගෙන කැරකෙනවා.

    ඔය කියන අකුරු හතරේ බංකුව කියන්නෙ පිටින් බලන බයියලාට සුරපුරයක් නේ :)

    ReplyDelete
    Replies
    1. සුරපුරයක් නෙවි ඒක නන් කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ඔලුව විකෘති කරන නරාවළක්!

      Delete
    2. මම කාලයක් ඔය බැංකුවේ CCTV කැමරා සම්බන්දව වැඩ කලා . . . . චී හිතෙන මට්ටමේ දර්ශන තියෙන්නෙ. ඒකෙ වැඩ කරපු මගෙ නෑනත් එක්ක තිබ්බ ෆිට් එක එහෙමම නවත්තල දැම්ම

      Delete
  2. අනේ කාලේ වනේ වාසේ කිව්වලු... ඇයි අපට මෙහෙම වෙන්නේ... කොතැනද වැරැද්ද...

    ReplyDelete
    Replies
    1. හිතන විදිය තමයි වැරැද්ද සහෝ..! මොනව කරන්නද අපෙ උන්ගෙ චින්තනය කුරුවල් වෙලා...

      Delete
  3. කියලා වැඩක් නෑ...
    මමත් ඇමරිකන් කොලේජ් එකේ ඉගෙනගන්නකොට කෙල්ලෝ එහෙම මට මූනටම කියලා තියෙනවා ලැංග්වේජ් එකනං හෙන ගොඩේ කියලා..
    ඔය තත්වේ ගොඩක්ම තියෙන්නේ කෙල්ලංට තමා...
    කොල්ලංගෙනං අඩුයි මං දැක්ක විදිහට..

    ReplyDelete
    Replies
    1. ගොන් ගස්!! උන් පිටරටවලට ගියොත් උන් කතාකරන විදියත එහෙ අයට අමුතු තමා..ඔය උඩ පනින උන්ට මොකෝ "නේටිව් ඉන්ග්ලිෂ් ඇක්සන්ට්" එකක් තියනවයැ..ඕකෙන් වෙන්නෙ එකක් වත් බැරිවෙන එක..

      Delete
  4. අප්පේ...ඔය පොස් පාට් නම් මට පේන්න බෑ කොහොමත්! මමනම් මුණටම කියලා දානවා මොකද්ද බං ඔය විකාරේ කියලා! වැරැද්ද තියෙන්නේ සමාජයෙමයි! මොකෝ අපිමයි ඔය වගේ සුකුරුත්තන් කෑලි උඩින් තියන්නේ!

    ReplyDelete
    Replies
    1. කනට දෙකක් දුන්නනම් අම්මපා හරියනවා..!

      Delete
  5. මේකෙ වැරැද්දට මුල අපේ රටේ අධ්‍යාපනය , එකෙක් ගමේ ඉස්කෝලෙට යනවා , අනික ඉන්ටර්නැශනල් , දේශමාමකත්වය කියන දේ ගමේ ඉස්කෝලෙ පොඩ්ඩකට හරි ඉගැන්නුවත් , ඉන්ටර්නැශනලේ එහෙම නෙමේ , උන් සුද්දන්ට කඩේ යයි. රටේ අධ්‍යාපනයට ප්‍රතිපත්තියක් නෑ , ප්‍රායෝගිකත්වයක් නෑ , ටූ.ෆයි.ආර් ප්‍රමේය දාන්න තැනක් මගේ ජීවිතයේ තාම හම්බවෙලා නෑ , මම තාම හෙම එකක් එනකන් බලන් ඉන්නවා, දීර්ඝව කථාකරන්න හොද මාර්තෘකාවක්

    ReplyDelete
    Replies
    1. 100% agreed..මේ ගැන කතා කරන්න ඕන..ඒක තමා තිත්ත ඇත්ත//

      Delete
  6. ඔය කියන නංගී වැනි චරිත මට නම් අරහංය...දකින විට අප්පිරියා සිතේ.... උමා කෙලී නම් සෝයිය...

    ReplyDelete
    Replies
    1. මටත් ඕකුන් පේන්න බෑ අයියෙ, කතා කරන විදිය ඇහුවම කනට ගහන්න හිතෙනව..

      Delete
  7. ඔය වගේ උන්ට උත්තර දෙන්න ඕනේ විදියක් තියෙනවා.. නමුත් කෙල්ලෙක් නිසා ඒ ප්‍රශ්නේ අහන්න බැරි වෙයි වගේ.. ;) ලෝකේ තියෙන භාෂා වලින් වැඩිම ශබ්ද පරාසයක් සහ වැඩිම උච්චාරණ විධි ගණනාවක් සහිත භාෂාව සිංහල භාෂාව බව අපේ බංකොලොත් "නංගිලා" දන්නේ නැත. දැනගන්නට ඕනෙද නැත. විසේ ඇති ඌරෝ (සහ ඊරියෝ) රෑ දවල් දෙකේම හාරති.

    ReplyDelete
    Replies
    1. සින්හල ඇත්තටම ගීතවත් භාෂාවක්...සින්හල මව් බස විදියට කතා කරන අයට අනෙක් භාෂාවල් ඉගෙන ගන්න ලේසියි කියන එක ඇත්ත...මැණික් ගලේ පය හැපුනට කණා අහුලලා ගනීද ඉතින්?මෝඩ හැතිකරේ ඉන්ග්‍රීසියට බයේ වැදගෙන නෙ ඉන්නෙ...සුද්දා දන්නවනම් දෙපැත්තෙන් හිනාවේය...

      Delete
  8. මමත් අකමැතිම දෙයක් තමයි සිංහල මරන එක. සමහර උං බොරුවට සිංහල බෑ වගේ සිංහල විකෘති කරලා කතාකරනවා.අහං ඉන්න හරිම පිළිකුල්. ඇතැම් මාද්‍යවල ඉන්න වල් බූරුවෝ සහ බූරු දෙන්නුත් ඇතැම් මන්ත්‍රීවරියනුත් යහමින් සිංහල මරති.

    පොඩ්ඩක් වැරදුන විට ෂිට් කියන අපේ උංගේ බොරු පොෂ් ගතිය ගොස් සැබෑ ගතිය මතුවෙන්නේ කැරපොත්තෙක් වැනි සතෙක් ඇඟට දැමූ විටය.එවිට ෂිට් දෙපිටින් ගොස් “බුදු අම්මෝ“ යනුවෙන් කෑගසනු ඇසිය හැකි වනු ඇත. :D LOL (ලැජ්ජයි ඕයි ලැජ්ජයි)...

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්..රේඩියෝ එකේ නිවේදිකාවන් තමා පොඩි උන්ටත් ඔය ලෙඩ බෝ කරන්නෙ..ඇත්ත නේන්නම්..රේඩියෝ එකේ නිවේදිකාවන් තමා පොඩි උන්ටත් ඔය ලෙඩ බෝ කරන්නෙ..අර කීව වගේ දෙයක් උනොත් හරි සින්හල මතක් වෙයි තමයි :ඩී

      Delete
  9. මානෙන් උදම් වෙන්න හොද නැහැ..

    ReplyDelete
    Replies
    1. මානයද මෝඩ කමද කියලයි හිතා ගන්න බැරි :(

      Delete
  10. කෑම අතින් ගත්තාම ලංකාවෙ අපිට තාම චාන්ස් එක තියෙනව පෝෂණයෙන් වැඩි කෑම ලාබෙට ලේසියට ගන්න. නිවුඩු හාල්, මැල්ලුම්, මස්, මාලු, කිරි, අල බතල, රටකජු වගේ "ස්වාභාවික" කෑම තාමත් පොලට ගිහින් ගන්න පුලුවන්. මේ ආහාර රටාව පිටරටවලදි ටිකක් ගණන් වැඩියෙන් මහන්සි වෙන්න ඕන රටාවක්.

    හැබැයි මම හිතන්නෙ සාපේක්ෂව නගරාසන්න රස්සා කරන මිනිස්සු තාමත් වැඩිපුර ගෙදරින් කෑම ගෙනියනව. පාටියකට, විශේෂ වෙලාවකට වගේ මේදය, ලුණු, සීනි ඉතිරෙන ඒවා ගෙනාවට දවාලකට කෑම කන තැනකට ගියොත් ගොඩක් අය බත් එකක් දිග ඇරගෙන කනව බලන්න පුලුවන්.

    "වාණිජකරණය" කියල මේ හඳුන්වල තියෙන දේත් පැතිරිලා යනව තමයි. හැබැයි මගේ අත්දැකීම් අනුව ඒ රැල්ලට වැඩිපුරම මුලින්ම අහුවෙන්නෙ වැඩිපුර නගරෙන් ඈත හැදුනු වැඩුනු අය.

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට ඒ ගොල්ල තමයි "මැක්" ගෙ ලණුව ලේසියෙන්ම ගිලින්නෙ..

      Delete
  11. ඔයා කියාපු බැංකුවේ ඔය පොෂ් ලයින් එක බර යනව. උං හිතාන ඉන්නෙ සිංහල නුහුරට, හුස්ම ටිකක් අල්ලල කතා කලාම හෙන පොශ් වෙනව කියල
    එක අතකින් බලද්දි පවු උං

    ReplyDelete
    Replies
    1. පවු නේන්නන්..උන් පෙන්නන්නෙ උන්ගෙ නූගත් කම..

      Delete
  12. මට නම් දිරවන්නෙම නැති ලයින් එකක්... උන්ගේ ජීවිත ගැන සිරාවටම දුකයි.

    ReplyDelete
    Replies
    1. දුකයි නේන්නන්..අරෙහෙම කතා කරන්න කොච්චර ගේමක් දෙනවද! :පී

      Delete
  13. නියමයි උමා..තේරෙන සිංහලෙන්ම කියනවනම් ඔලුවටම වැදෙන්න ලියලා තියෙනවා..මමත් ඔය පුහු ඉංග්‍රීසි මාන්නයට දැඩිව විරුද්ධ කෙනෙක්..ඔය වගේ හරි අමාරුවෙන් සිංහල කතාකරන්න දගලන කෙල්ලෝ සහ සමහර කොල්ලෝ දැක්කම අපිට හිනා යන්නේ කටින් නෙමෙයි..අපේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවා මහා ලොකුවට ඉංග්‍රීසි වලින් වචනයක් දෙකක් දැම්මම හෙනම පොෂ් කියලා...පොෂ් නෙමෙයි එව්ව දැක්කහම මටනම් කියවෙන්නේ පොහ් කියලා..මේකට හේතුව මොකුත් නෙමෙයි තමන්ගේ ජාතියට ආගමට ආදරයක් ගෞරවයක් නැතිකම සහ මෝඩකම..අපේ ගොන් හරක් ඉතින් මේ වගේ දේවල් වලට ගොඩාක් දක්ෂයි..ජාතික ගීයත් ෆුරැට් සැලඩ් කරන්න උත්සාහ කරන මහා පණ්ඩිත ආමාත්‍ය උත්තමයන් සිටින බුදුදහම අනිත් ආගම් එක්ක මික්ස් කරලා මික්ස් රයිස් දාන්න හදන අගමැතිලා ඉන්න රටේ සිගිති ආතල් ගන්න පොහ් කෙල්ලෝ ගැන කුමන කතාද?? උන්ට සිංහල නිකන් ගොඩේ කසිකබල් වචන ටිකක් උනාට අපේ ලේ වල දුවන්නේ සිංහල..ජාතියට ආගමට භාෂාවට අපි පන දෙවැනි කොට ආදරෙයි..හිතන්න කීයෙන් කි දෙනාද තමන්ගේ අත්සන සිංහල භාෂාවෙන් යොදන්නේ??? බහුතරය සුද්දගේ පර භාෂවෙන් තමන්ගේ අනන්‍යතාවය කියලා වෙන මොකක්දෝ එකක් පෙන්නවා..ඇයි දෙයියනේ තමන්ගේ දේ තමන්ගේ අනන්‍යතාවය පෙන්නන්න මොක ඉටිගෙඩියටද වෙන භාෂාවක්?? ඉංගිරිසියෙන් අත්සන් කරන උන්ගෙන් මම අහන්නේ ඇයි උබලා දෙමළෙන් අත්සන් නොකරන්නේ?? ආහ් හරි එතකොට කියයිනේ අන්තර්ජාතික භාෂාව කියලා තව ඔය අන්තර්ජාතිකව පිලිගත් භාෂාවල් තියෙනවනේ ස්පැනිෂ් මැන්ඩරීන් වගේ..ඒ වගේ එකකින් අත්සන් කලා නම් හොදයි නේ නේද? එතකොට ඉතින් නිතැතින්ම උන් කියයි පිස්සුද බන් මින්ස්සු අපිට පිස්සු කියලා හිතයි..අන්න හරි හිතන්න ඕන නැ උබට පිස්සු..ඒකනේ තමන්ගේ වටිනා දේවල් කුනු කුඩයට දාලා පිටරටින් එන කුනු ගොඩවල් බදාගන්නේ..එහෙම කියලා කියන්න තමයි ඉතින් වෙන්නේ...දුකයි ඉතින් උත්සාහ කරනවා හැදෙන එකෙක් හදාගන්න..බල්ලාගේ වලිගේ වගේ උනපුරුකේ දැම්මත් හරි යන්න නැති උන් තමයි ඉතින් වැඩි පුරම ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගවේෂක..ඔහේ සමාජය යන රැල්ලට යනවා හැමෝම..ඇයි කියලවත් දන්නෙ නැහැ..එහෙම කරන්න ඕනෙ නැති කෙනාත් කොන් වෙයි කියල බයට අනිත් අය කරන එකම කරනව....ඔය බොරු ෂෝ එක සින්හල මිනිස්සුන්ගෙ වැඩි ද කියලයි හිතෙන්නෙ..

      Delete
  14. හපොයි... සිරි දේසේ වැසියන්ට වෙච්චි සංතෑසිය.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඒක රිවර්ස් කරල ගන්න කාලෙ හරි..කළු සුද්දන් යටතෙ හිටිය ඇති...

      Delete
  15. Replies
    1. ලේකම්.... මටත් හිතුනෙ ඒක තමයි. අපේ අයියා කෙනෙක් ඕකෙ හිටියා ඒ කාලෙ. රෑට තමයි වැඩ තිබ්බෙ.

      Delete
    2. හුහ්..අන් කවරක්ද ඉතින්..

      Delete
  16. උමා.... මට ඔබ ගැන ආඩම්බරයි. විශේෂයෙන්ම ලංකාවෙ සිංහල යුවතියක් මේ ආකාරයෙන් ලිවීම ගැන මට බොහොම සතුටුයි. ඔබ ලියපූ විදිහෙ කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් මට හමුවෙලා තියනවා. දවසක් බස් එකේ හමුවුන මගේ පරණ පාසල් මිත්‍රයෙක් ඔබ කිව් ආකාරයේ අමුතුම භාෂාවකින් කතා කලා මට මතකයි. ඒ සිදුවීම මතක් වෙන විට මට අද ද දැනෙන්නේ හාස්‍යක්. මේ දෙයට මුලික හේතුව සිංහලයන් තුල තිබෙන හීන මානය. සුද්දට යටවෙලා හිටියත් ඉන්දියානුවන් තුල මේ වගේ හීනමානයක් නැත්තෙ ඔවුන්ගේ අධ්‍යාපනය තුලින් ඒ අවශ්‍ය භාෂා නිපුනතාවය අනිවාර්යයෙන් ලැබෙන නිසා. ලංකාවෙ තරැණ පරපුරේ මේ ඇති වෙලා තිබෙන විපර්යාසයට වගකියන්න ඕන එදා තිබුනු ඒ වටිනා අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ස්වභාෂා අධ්‍යාපනය හඳුන්වා දීපු සෙවල බන්ඩා ප්‍රමුක මුග්ධ දේශපාලකයන් රැලයි. තමන්ගේ පෞද්ගලික ජයග්‍රහනය වෙනුවෙන් ජාතියක අනාගතය ඔවුන් වල පල්ලට යැවුවා.එකල සාමාන්‍ය තැපැල් පියුන් මහතෙකුගේ පුතෙකු වු සාමාන්‍ය පාසලක ඉගෙනගත් මගේ සීයා ඉංග්‍රීසි භාෂාවේ චතුරයෙකු වීමත්, සමූපකාර අධ්‍යක්ෂක කෙනෙකු වු ඔහුගේ දියනිය වු මගේ මව එම භාෂාවේ ප්‍රවීණ නොවීමත් අපේ රටට සිදුවුන හානිය පෙන්වන මම දුටු එක සිද්ධියක්.තවත් එකක්...... නියම විදිහට ඉංග්‍රීසි දන්න සමාජයත් එක්ක ගැටෙන තමන් ගැන අභිමානයක් තියෙන අය‍ කව්රැත් ඔය විදිහෙ බොලඳ විදිහට කතා කරන්නෙ නැහැ. ඔවුන්ගෙ නිවැරදි භාෂා භාවිතය නිසාත් ආත්ම වි‍‍ශ්වාසය නිසාත් ගොඩනැගෙන පෞර්ෂය අයෝමය එකක්.....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සහෝ..ඒකෙන් ප්‍රයෝජන ගත්ත මෝඩ ධනවතුන් තමන්ගේ තත්වය රැක ගන්න, සුද්දගෙන් ණයට ගත්ත ඉන්ග්‍රීසියයි බොරු මාන්නයයි පාවිච්චි කළා...අදටත් සමහර අයට තමන්ගෙම රටේ ආගන්තුකයන් වෙලා, රැකියා විරහිතයන් වෙලා ඉන්න වෙලා තියනවා..තමන්ගේ කම සහ අන්තර්ජාතික භාෂාව යන දෙකම උගන්වන අධ්‍යාපන ක්‍රමයක් අපට අවශ්යයි...මේ සිස්ටම් එකේ ඒ දෙකම නෑනෙ..නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ..

      Delete
  17. නූතන යටත්විජිතවාදයේ සහ වෙළඳ පොළ ගෝලීයකරණයේ දායාද තමයි මේවා. ඇත්තටම ගත්තොත් ප්‍රශ්නය පුද්ගලානුබද්ධ නෑ, මේ සියල්ලම ක්‍රමය විසින් නිර්මාණය කරන දේවල්. අන්න එතනයි සැබෑ ප්‍රශ්නය තියෙන්නේ. මාව ජෙප්පෙක් කියලා හංවඩු ගහන්න එපා මෙහෙම කිව්ව කියලා :)

    ReplyDelete
  18. පුද්ගලානුබද්ධ ප්‍රශ්නයකට වැඩිය මේක සමාජ ප්‍රශ්නයක්...තාම අපි ඉන්නෙ යටත් විජිත මානසිකත්වයක අතරමන් වෙලා අපේ රටේ ආගන්තුකයො වෙලා...ගෝලීයකරණයෙන් එන පීඩනයට අපේ සන්ස්කෘතික හා ජාතික අනන්යතාවය රැකගෙන මූණදෙන්න අපිට හයියක් නැත්තෙ ඒකයි...

    ReplyDelete
  19. මේ කතාවේ මුළ හරිය ඇත්ත කතාවක්ද? එසේ නම් ඒ භාෂාව මොකක්ද?

    ReplyDelete