Pages

Sunday, January 6, 2013

බූට් සපත්තුවක්, විවාහයක්, මරණයක් හා සන්සාර චක්‍රයක්...




ඔහු හා මම වසර හතරක් ප්‍රේම කෙළෙමු. ඉනික්බිති ඔහු මා හැර ගියේය. අන් පෙමක්ද සොයා ගත්තේය. ඈ හා විවාහ වන්ටද තීරණය කළේය.   මුලින් විහිළුවක් ලෙස සියල්ල පෙණුනද දැන් ඊට දිනද නියම වී ඇති සෙයකි. මා අත ඇති මන්ගල ආරාධනා පත ඊට සාක්ෂිය. කෘර ලෙස මගේ හදවත බිද දැමූ ඔහු දැන් මන්ගල කාඩ් පතක් එවා මට ඊට ආරාධනාද කර ඇත්තේ මට රිදවන්ටම විය යුතුය. මන්ගල බෙර වයා, පෝරුවට නැග, දෑගිලි බැද ඔහු ඇය හා විවාහ වනු ඇත. ඔහුගේ වෙන්ට මනමාලිය ලස්සන බව කවුදෝ කියනවා මට ඇසී ඇත. සොයාගෙන ගොස් ඈගේ මූණට දෙකක් දෙන්නට මට සිත් වේ. ඇමතුමක් දී ඔහුට බැණ වදින්නට මට සිත් වේ....

 එහෙත් මා ලවා ඉරිසියා කර ගැනීම ඔහුගේ මෙන්ම ඇයගේද අභිමතාර්ථය විය හැක.එහෙත් කිසි වෙනසක් නොපෙන්වා මන්ගල්ලයට යාම කළ නොහැක්කකි. එහිදී මගේ හදවත පුපුරා මා කඩා හැලෙනු ඇත. ඒ මා තවමත් ඔහුට පෙම් කරන බැවිනි. ඒ තරමට මම ඔහුට වයිරද කරමි. මට දැන් මේ ජීවිතයෙන් වැඩක් නැත. මා මිය යා යුතුය. දිවි තොර කර ගත යුතුය. නිදි පෙති බී, ළිදට පැන, හෝ ගෙල වැල ලා මිය යා යුතුය. එය ඔහුට වදින මරු පහරක් වනු ඇත. එහෙම බැලූ කල මා මිය යන්නේ මට මගේ ජීවිතය එපා නිසාම නොව, ඔහුගෙන් පළි ගැනීමටය. ඔව්. එය ඔහුගෙන් පළිගන්නා හොදම ක්‍රමයයි. ඔහු මුළු ජීවිතයම තැවෙමින් විදවනවා ඇත.

සිය දිවි නසා ගැනීමට ක්‍රමයක් දැන් කල්පනා කළ යුතුය. මිය යාමද ලේසි නැත. කොහොම වුණත් වතුර පෙවී, හුස්ම හිර වී මිය යාමට වඩා නිදි පෙති බී මිය යාම හොදය....

දැන් නිදි පෙති මගේ අතේය. මරණයත් මාත් අතර ඇත්තේ තත්පර කිහිපයක දුරකි.මරණයෙන් මතු මිනිසුන් යන්නේ කොහේදැයි ඊට පෙර සොයා බලන්නටද බැරි විය. කිතුණු දහමේ මෙන් ස්වර්ගයට යනවාද? බුදු දහමේ මෙන් පුනර්භවය ලබනවාද? පුනර්භවය කියා ඔනෑ තැනක උපදින්නට නම් බැරිය. කැරපොත්තෙකු වුවොත් ඉදල වැඩක් නැත. මේ ක්ෂීර පථයෙන් එපිට චක්‍රාවාට වලද ජීවය  පවතිනවා ඇත. උන් හුස්ම ගන්නේ විෂ වායුද දන්නේ නැත. ඒ වගේ එකක ඉපදුණොත් ලොවෙත් නැත..!

එහෙත් උපදින්නට පෙර මිය යා යුතුය. තත්පරෙන් තත්පරය ගෙවෙයි. මගේ හිස කැරකෙන්නාක් මෙන් දැනේ.. මට ඒ දවස් සිහි වෙයි.. ඔහු හා අත්වැල් බැද මාවතේ ඇවිද ගිය සැටි සිහිවිය. ඒ කී කතා දැන් නැත. ඒ කතා කී ඔහුද නැත. මට පෙම් කළ ඔහුගේ සිත නැත. ටී ෂර්ටයකින් හා ඩෙනිමකින් සැරසුණ නිතර සැහැල්ලුවෙන් සිනාසෙන ඒ හීන්දෑරි කොළුවාද අද නැත. අද ඉන්නේ අමුතු එකෙකි. ඉතින් මා ආදරේ කළේ ඒ කොළුවාට නෙවද?... ඔහුගේ සිතත් ගතත් අද නැත්නම් මා මිය යන්නේ අහවල් මළදානයක් වෙනුවෙන්ද?....


 මිනිස් සිත නම් වෙනස් වන්නේමය. මිලි-මයික්‍රො-නැනෝ තතපරයක් ගානේ එය වෙනස් වෙයි. කයද වෙනස් වෙයි. තත්පරයක් ගානේ සිරුරේ සයිල මිය යයි. අළුත් සයිල උපදියි. අපි දෙදෙනා බැන්දත් නැතත් අපේ සිරුරු මිය යයි. තව අවුරුදු 40ක් ගිය තැන කවුරුත් අප දෙස බලන්නේවත් නැත....

මා හා හෝ ඇය හා හෝ ඔහු පිවිසෙන්නේ ජීවන අරගලයකටය. යම් දිනෙක මරණය ඇවිත් ඔහුව ඒ සටනින් පරාද වී ඔහු මිය යයි. මිය ගිහින් ආයෙත් ඉපදුන විට ඔහුට මා මතක නැත. මේ ආත්මයේ ඔහුගේ ප්‍රිය බිරිය වූවද පරම හැතිරිය වූවද මිය ගිය පසු අප එකිනෙකා නාදුනයි. එතකොට ඇත්තේ වෙන කයකි. එතකොට මා පෙම් කළේ ඔහුගේ කයටද? සිත්ටද? ක්ෂණයක් පාසා වෙනස් වන චපල සිතටද? සබන්, ෂැම්පූ හෝ ටූත්පේස්ට් නැතිව එක දවසක් හෝ තබා ගත නොහැකි කයටද?

කිසි දෙයක තේරුමක් නැති සෙයකි. පෙර ආත්ම වලද ඔහු මගේ ප්‍රිය සැමියා වන්නට ඇත. සමහර ආත්ම වල ඔහු බිරිද වී මම සැමියා වන්නට ඇත. මෙම චක්‍රය දිගටම යනු ඇත. දැන් මා මිය යන්නේ ඔහුට රිද්දන්නටය. ඇය හා ඉරිසියාවෙන්ය. එහෙත් ඔහුද ඇයද මරණයෙන් මිදී නැත. දිනෙක ඇයද මැහැල්ලක වනු ඇත. ඔහුද මහල්ලෙක් වනු ඇත. ජීවත් වුණොත් මමත් මැහැල්ලක වනු ඇත. එවිට අපේ ආදරය හීනයක් පමණක් වනු ඇත. එහෙනම් මම නිදිපෙති බොන්නේ කෙහෙල්මලටද?

කාලය ගතවෙයි. තරුණ විය ගෙවී ගොස් කය මහළු වෙයි. සන්සාර චක්‍රය කැරකෙයි. දිවි නසා ගත්තත් නැතත් මරණය පැමිණෙයි...



මන්ගල කාඩ් එක තාම මේසය උඩය. මුදල් ගොඩක් වැය කර කරන මේ මන්ගල්ලයද දිනෙක ඔවුන්ට මතකයක් විතරක් වනු ඇත. විවාහය නම් වූ අරගලයට පිවිසි ඔවුන් දිනෙක මහළු වී මරණයට පත් වේවි. ඒ කාලය හා බැලූ විට මන්ගල උත්සවයක් යනු පැය කිහිපයකි. ඒ වෙනුවෙන් මම නිදි පෙති බී මිය යාම තකතිරු වැඩකි....එහෙනම්....


"බට්ටි තේ හදනවා බොනවද?" පුන්චම්මා කුස්සියේ සිට කෑ ගසයි. "ආ ඔව්. මට ප්ලේන්ටි". ඉලව් නිදි පෙති බෝතලය බෙහෙත් පෙට්ටියට විසිකර මම කෑ ගසා කියමි....

































6 comments:

  1. අප්පේ...මම හිතුවා මෙයා මැරෙන්න වත් යනවද කියලා!!
    හරිම තාත්වික කතාවක්!! ජිවිතයේ යතාර්ථය!

    ReplyDelete
    Replies
    1. දැන් ටික ටික තේරීගෙන එනවා ඉතින්...;) ඉස්තූතියි නාඩි තුමෝ මේ පැත්තෙ ආවට..:)

      Delete
  2. අගේය යථාර්ථය තේරුම් ගෙන තියනවා... උමා නියමයි පෝස්ටුව...

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කටුක යථාර්ථය කියල තමයි මාත් මේ හිතුවෙ..ස්තූතියි නලින් අපේ පිටුවට ආවට...

      Delete
  3. ඔහ් මේක අත්දැකීමක්ද ?
    එහෙමනම් ඔබ බොහෝම හොඳින් ඒ දුක නිවාරණය කරගන තිබෙනවා .. ජය....

    ReplyDelete
  4. මැරෙන්න හිතුන එකනම් අත්දැකීමක්..හැබැයි ඔය යථාර්තය තේරුම් ගත්තෙ කතාවෙ වගෙ එදාම නෙවෙයි..ටික ටික...

    ReplyDelete