Pages

Saturday, April 13, 2013

උයන් පල්ලන් සහ බොන්සායි කරුවන්....






කොල්ලන් වර්ග දෙකකි..ඇතැම්හු උයන් පල්ලන් මෙනි..පොහොර දමා සාත්තු කර ගස් වවති..ඇතැම්හු බොන්සායි කරති...ගසට වැඩෙන්න නොදී කප්පාදු කරමින් ලස්සනට තබා ගනිති...ඇත්ත වශයෙන්ම, උන් ඒ ගස වැවෙනවාට බයය...

ඉහත කියූ කතාවේ තේරුම මොකක්ද? ඊයේ ලයිබ්‍රරි එකට යද්දි මගේ බැච් මේට් විජිනි හම්බ උණා..විජි මගේ බැච් එකේ හිටපු බ්‍රයිට්ම කෙල්ලෙක්. විජී බැන්දේ අපේ බැච් එකේම හිටපු පැතුමව.

හැබැයි පේන විදියට අද මූණ නම් එච්චර හොද නෑ වගේ..

"විජි මොකද සීන් එක? පැතුම් එක්ක වලියක් ඇද්දද?"

"ඔව්." මේකී කියපි.

"හෑ? එහ් මොකෝ" මම පුදුම උනා.

"දැන් ටික දවසක ඉදලා පැතුම් අමුතුයි.."

"හේතුව?"

"මම එම්. බී. ඒ කරන්න ගත්තු දවස් වල ඉදලා, එයා මා එක්ක හොද නෑ වගේ."

"ඇයි ඔයාගෙන් ගෙදර වැඩ වත් මග ඇරුණද?"

"එහෙම එකක් උනෙ නැහැ. ඒත් එයට තරහයි වගෙ."

මම පුදුම වුණා..

"ඒ අස්සෙ ළගදී මගේ සැලරි එකත් වැඩි උණානෙ. ඒකටත් එය තරහයි වගෙ"

"ඇයි හත් දෙයියනෙ..තමන්ගෙ වයිෆ්ගෙ සැලරි එක වැඩි උණානම් මිනිහෙක් කොච්චර සතුටු වෙන්න ඕනෙද?"

"ඒක තමයි ඕයි කියන්නෙ. පැතුම් මා එක්ක ඉරිසියයි වගෙ.."

"හයියෝ.."

"මට හිතුණොත් එම්. බී. ඒ එක අත අරිනවා චමියෝ"

"උඹේ මොළේ නරක් වෙලාද විජි? එතකොට යට කරපු සල්ලි...? අනිත් එක ඒක ප්‍රශ්නෙට විසදුමක්ද?. ඔයා එහෙම කරයි. හැබැයි ඔයා කවද හරි දුක් වෙයි. ඔයාට ඔච්චර හොද මොළයක් තියනවා.. ඔය ජොබ් එකේ ඔයාට ඉහළටම යන්න නම් මාස්ටර්ස් තියන එක හොදයිනෙ. අනිත් එක ඉගෙන ගන්න පුළුවන් වයස හැමදාම තියෙන්නෙ නැහැනෙ".

මම බණ කියනවා වගේ කියවනවා. "ඔයා අපේ බැච් එකේ තිබුණු සුපිරිම මොළ වලින් එකක්. අමතක කරන්න එපා ඔය කම්පණි එකේ ජොබ් එකක් ගන්න අපේ උන් කීයක් දැගලුවද කියලා. ඔයාටනෙ ඒක හම්බ උණේ. ඔතනිනුත් ගොඩාක් ඉහළට යන්න ඔයාට පුළුවන් විජි"

"මට හිතෙන්නෙ ඒකම තමයි පැතුම්ගෙ ප්‍රශ්නෙත්..". විජී හිනාවුණා.. ඒ හිනාවෙ දුක, කේන්තිය, බලාපොරොත්තු කඩවීම, ඒ හැම දේම තියනවා මම දැක්කා...

"ඒ කියන්නෙ ඔයා එයාට වඩා ඉගෙන ගන්න එක හරි, එයට වඩා ලොකු පඩියක් ගන්න එක හරි එයාට මදි කමක් වගේ.."

"ඔවු. ඒ වගෙ තමයි. පෙරේදා මගෙ ආටිකල් එකක් අපෙ වීක්ලි මැගසින් එකේ පළවුණා. පැතුම් ඇරෙන්න අනිත් හැමෝම ඒක ගොඩක් අගය කළා. ඊයෙ හවස අපි කාර් සේල් එකට ගියා කාර් එකක් බලන්න. පැතුම්ට කාර් පිස්සුවනෙ. එයා කාර් සේල් එකේ මැනේජර් එක්ක කතා කර කර ඉන්නකොට මම මොකක් හරි ප්‍රශ්නයක් අහන්න ගියා කියලා එය මට බැන්නා "ඔයා දන්නෙ නැති දේවල් වලට කට නොදා ඉන්න කියලා.".

"කතන්දරේ තේරෙනවනෙ. පැහැදිලි ඉරිසියාව. මට හිතෙන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ එයාගෙ හිතේ."

"ඔවු. නැතිව මගෙ අතින් වැරැද්දක් වෙලා නෙවෙයිනෙ"

"එහෙම නෙවෙයි. පැතුම්ට තමන් ගැන තියන ආත්ම විශ්වාසයෙ ප්‍රශ්නයක්. හැබැයි ඒක මට හිතා ගන්න බෑ. පැතුමා හැන්ඩි කොල්ලා. ඔච්චර හොද ජොබ් එකක් තියනවා. ඒත් තමන් ගැනම ආත්ම විශ්වාසයක් නැත්තෙ ඇයි. අනිත් එක ඔයාට හොදක් වෙනවනම් ඔයාගෙ හස්බන්ඩ් හැටියට එයා සතුටු වෙන්නනෙ ඕනෙ."

"මම කරන හැමදෙයක්ම කරන්නෙ අපි දෙන්නගෙම හොදට චමී. නැතුව එයා එක්ක තරගෙට නෙවෙයි. මොකෝ මට සැලරි එක වැඩි උනා කියල මම එයාව දාල යනවද?"

"හරි බන්. ඒක මම දන්නව. ඔයා බලල තියනවද "අභිමාන්" ෆිල්ම් එක?"

"පුන්චි කාලෙ බැලුවා මතකයි."

"ඒකෙත් ඔහොම සීන් එකක්නෙ වෙන්නෙ. වයිෆ් තමන්ට වඩා දක්ෂයි කියලා දැනගත්තම හස්බන්ඩ්ට ඉරිසියාවක් හිතෙනවා. එයා තවත් ඉහළට යනකොට, සමාජෙන් ලැබෙන පිළිගැනීම වැඩි වෙනකොට ඒක තවත් වැඩි වෙලා වයිෆ් එක්ක රණ්ඩු කරගන්නවා. හැබැයි හොද ආත්ම විශ්වාසයක් තියන පිරිමියෙක් එහෙම කරන්නෙ නෑ විජි. තමන් ගැන පුන්චි හරි හීනමානයක් තියන, තමන්ගෙ අගය අඩුවෙන් තක්සේරු කරන අය තමයි ඒ විදියට හිතන්නෙ"

"එදා මම ඔෆිස් එකේ ඉශාන්ව මගදී දැකලා හිනාවෙලා කතා කළා කියලා පැතුම්ට හොදටම කේන්ති ගියා. මොකෝ පාරෙදි හිනා උණා කියල මම ඒකව බදිනවද? ඉශාන් ටෙක්නී‍යෂියන් කෙනෙක්. ඒ මදිවට තාර පීප්පයක් වගෙ කළුයි."

"ලස්සනින් වත් වෙන කිසිම දෙයකින්වත් වෙන කිසිම කොල්ලෙක්ට පැතුම්ට කිට්ටු වෙන්න බෑ. ඒත් එයාට ඒක පේන්නෙ නැති එකයි ප්‍රශ්නෙ"

"ඔයා කිව්ව වගෙ හීනමානයක් තමයි එයාගෙ හිතේ තියෙන්නෙ. මන් මොකද කරන්නෙ මචෝ මේකට?" විජී ඇහුවෙ දුකෙන්..

"මොන දේ උණත් ඔයාගෙ ඩිග්‍රී ඒක නවත්තනවා වගේ මැටි වැඩ කරන්න එපා. එතකොට හිතන්නකො ඔයාට ඔය ජොබ් එකෙ වෙන හොද පෝස්ට් එකක් හම්බුණා කියල. ඔයා ඒක බාර නොගෙන ඉන්නවද? ඒ වගෙ වැඩවලින් වෙන්නෙ තමන්ට තමන්වම නැති වෙන එකයි. ඒකෙන් කවදා හරි දවසක ඔයා දුක් වෙයි."

"මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ පැතුම්ගෙ හිතේ නෙ විජි. ඔයා එයාට තේරුම් කරල දෙන්න බලන්න."

මම මගේ යාළුවාව දාලා එන්න ආවෙ හිතේ ලොකු බරක් තියාගෙන. සමහරක් අය තමන් ආදරේ කරන කෙනාට පුළුවන් තරම් උදව් කරනවා. හරියට උයන්පල්ලෙක් තමන්ගේ උයනේ ගස් වලට වැඩෙන්න සාත්තු කරනවා වගේ. ඒ ගහේ මල් පිපෙන කොට උයන්පල්ලෙක්ට දැනෙන්නෙ සතුටක්. සම-හරක් අයට ඕනෙ තමන්ගෙ සහකාරියව බොන්සායි ගහක් වගේ වැවෙන්න නොදී හැමදාම තියාගෙන ලස්සන බල බල ඉන්න. එහෙන් මෙහෙන් අතු වැවෙන්න හදනකොට ටක් ගාලා කප්පාදු කරලා ආයෙත් පුන්චි කරලා තියා ගන්නවා...ඒ බයටද???? මම මේ තාම හිතනවා...

කොහොම උණත් ඔය විදියේ බොන්සායි ගස් අපේ රටේ ලක්ෂ ගානක් ඇති...පවු...

 

Sunday, February 10, 2013

රතු කිකිළී..



රතු කිකිළී උදේ නැගිට්ටාය. උදෑසන ඉර පායමින් තිබේ. ඇතැම් කුකුළෝ තවමත් නිදයි. ඒ නිදිමතේ නොව හාමතේය. කූඩුවේ අයිනට ගිය ඇය කම්බි දැලෙන් හොට එළියට දමාගෙන ටික වේලාවක් සිටියාය. කූඩුව ඇතුලේ වාතය අන්තිම අපිරිසිදුය. කුකුළෝ එකා පිට එකා වැටී නිදයි. එහි ඔබ මොබ ඇවිදීමටවත් ඉඩ නැති පුන්චි කූඩුවකි. කුඩා කුකුළ් පැටවුන් ඒ අසල වෙනම කූඩුවකය. රතු කිකිළීට දිය තිබහක් දැණුනි. කූඩුවේ කොනක කුඩා වතුර ටැන්කියකි. පතුළ පෙනෙන එහි බොර පාට වතුර ටිකකි. ඇය හොට හැකි තාක් ටැන්කියේ ගැඹුරට දිගු කොට වතුර ඩින්ගක් බීවාය. එය ඇගේ තිබහට ප්‍රමාණවත් නැත. කූඩුවේ ඇතුළේ ඇති රස්නයට තිබහ වැඩිවෙයි. තිබහටත් වඩා බඩගින්න අධිකය. ඊයේ හවා අර කෙට්ටු මිනිසා ඇවිදින් මොනවාදෝ ඇට වාගයක් විසිකර ගියේය. සියළු කුකුළෝ ඊට පොර කෑහ. ශක්තිමත් එවුන් එහෙ මෙහෙ දුවමින් අහුලන් කෑහ. හාමත නිසා පොර කෑමට ශක්තියක් නැතිකමින් කිසිවක් නොලැබී බඩගින්නේම නින්දට ගිය වුන්ද සිටියහ. රතු කිකිළී පයින් පොරව සූරා බැළුවේ කූඩුවේ බිමෙහි හෑරුණු වළෙකින් පණුවෙක් වත් මතුවී ඇත්ද කියාය. 


                  

කුකුළෝ එකා දෙන්නා ඇහැරෙන්නට පටන් ගෙන ඇත. ඔවුන් ඇහැරුණු ගමන් වතුර ටැන්කිය සොයා යති. සමහර උන් 'කොක්' 'කොක්' හඩ නගති. හුගක් එවුන්ට හඩලන්නට තියා 'කොක්' ගාන්ට වත් පණ නැති තරම් දුබලය. කූඩුවේ තද බදය නිසා ඇවිදින්නටව්ත් ඉඩ නැත. පෙරේදා මීට වඩා තද බදයක් තිබුණි. ලොරියකින් ඔවුන් මෙහි ගෙනාවේ එදාය. එහෙත් අර හිස මහත කකුල කොර ගසන මිනිසා ඇවිත් කුක්ළන් කිහිප දෙනා බැගින් උදේ හවා රැගෙන යන බැවින් කූඩුවේ තද බදය දැන් ටිකක් අඩු වී ඇත. එසේ රැගෙන යන විට කුකුළන් මරහඩ තළයි. උන් මිනිසාගේ දෑතට හසු නොවන්නට එහා මෙහා පනී. එවිට අනික් කුකුළ්ලු  බිය වී ඒ මේ අත පනින්නට තැත් කරමින් කෑ ගාති. කකුල කොර මිනිසා හසුවන කුකුළන්ගේ කකුල් වලින් ඇද හිස පහළට හැරෙන සේ උස්සාගෙන යයි. කුකුළන් රැගෙන යන්නට මිනිසා පැමිණෙන විට කුකුළන් කරන මරහඩ තැලීම රතු කිකිළී තුළ බිය උපදවයි. කකුල කොර මිනිසා කුකුළන් රැගෙන කොහේදෝ ඇතුළු ගෙයකට නොපෙනී යයි. ඇතැම් විට ඒ දිහාවෙන් කුකුළන්ගේ මරහඩ තැලීම් ඇසේ. ඒ හඩ රතු කිකිළී තුළ මරණ බිය උපදවයි. 



ඈ නැවතත් කූඩුවේ කම්බි දැලට හොට තබා ගෙන ටිකක් වෙලා සිටියාය. ඇය සිටින තැනට පුන්චි කුකුළ් පැටවුන්ගේ කූඩුව මෙන්ම මහ පාරද පෙනෙයි.

එහා පැත්තේ කුකුළු පැටවුන්ගේ කූඩුවේ පැටවුන් කෙදිරි ගායි. ලගකදී සිට සෑඩුනු බෝවන රෝගයකින් උන් පීඩා විදිති. උන්ගේ ඇගේ තුවාලය. කිහිප දෙනෙකු වේදනාවෙන් කෙදිරි ගාති. එක් පැටවෙක් තුවාල කුණු වීමෙන් මරණාසන්නව සිටී. ඌට ඇවිදීමට නොහැක. ඌ අමාරුවෙන් වතුර ටැන්කිය දෙසට ඇදෙයි. ඒ දිය පිපාසය නිසාය. එහෙත් ඌට යාමට පණ නැතිව ඇද වැටෙයි. උගේ තුවාලවල පණුවන්ය. ඇතැම් කුඩා පැටවෙක් එම පණුවන් හොටින් ඇහිද කයි. ඌ ඉන්නේ බඩගින්නේ වන්නට ඇත.


රතු කිකිළී මහ පාර දෙස බැළුවාය. පාරෙන් එහා පැත්තේ ඇත්තේ කෑම කඩයකි. එහි කෑම කන්නට මිනිසුන් නිතර යනු පෙනෙයි. එහි කුකුළෙකුගේ පින්තූරයක් ඇද ඇත. ඊට යටින් අකුරු පේළියකි. එහි ලියා ඇත්තේ "රෝස් කරන ලද කුකුළෙක් රු. 750/=" යනුවෙන් වුවද ඈට එය කියවිය නොහැක. ඈ කිකිළියකි. ඇගේ ජීවිතයේ වටිනා කම විවිද පාටින් පාට කළ කඩදාසි කිහිපයකට හුවමාරු කළ හැක. බිත්තරයෙන් එලියට පැමිණීමේ සිට අවුරුදු ගනණක් තුළ වැඩුණු කිකිළියක් බවට පත් වීම, අලුත් පැටවුන්ට ජීවය දීම, උන්ව රැක බලා ගැනීම, දැමූ බිත්තර බලෙන් රැගෙන යාම, වෙනත් කුකුළන් සමූහයක් හා ලොරියක බොහෝදුර පටවාගෙන විත් හාමතේ අපිරිසිදු කූඩුවක දමා තිබීම, මොහොතක් පාසා මර බිය විදීම පමණක් නොව මරණ වේදනාව විදීමද යන සියළු දෙයෙහි වටිනාකම ඊට ඇතුළත් වේ. එම කඩදාසි කිහිපයට ඉතා ලොකු බලයක් ඇතුවා වන්ට ඇත. එම කඩදාසි වල එකතුව මිනිසුන්ට නම් රු. 750/= කි. එහෙත් රතු කිකිළිට ගණන් කිරීමට බැරිය. ඈ කිකිළියකි.


ටිකකින් තවත් ලොරියක් පැමිණෙයි. ඈ එදෙස බැළුවාය. ලොරියේ පසුපස ඇති කූඩුවක කුකුළන් පටවා තිබේ. උන්ව පටවා ඇත්තේ එකා පිට එකාය. කුකුළෝ කූඩුවේ කම්බි දැල් වලින් හොටවල් එළියට දමාගෙන යති. ඔවුන් ගෙනියන්නේ අනිත් පැත්තේ ඇති කූඩුවක් දෙසටය. කුකුළන්ව බිමට බානවා ඇතැයි සිතු නේ කලබල වූ කුකුළන් නගන හඩිනි. ලොරි කරුවා තව ටිකකින් පිටව යයි. හිස මහත කකුල කොර මිනිහා ලොරි කරුට පාට කඩදාසි කිහිපයක් දෙයි. ඒ අර ලොරියේ සිටි සියළු කුකුලන්ගේ වටිනාකම් වෙන්නට ඇත. ඈ බලා සිටියාය....




                                   ********************

දින සති ගනන් ගත විය.. රතු කිකිළිය දැන් කූඩුවේ නැත.එක්තරා උදෑසනක ඈව රැගෙන යනු ලැබිණි.. හිරු නැගී තිබුණු ඒ උදෑසන ඈට අර භයානක බිත්තියෙන් එපිටදී මරණ දඩුවම හිමිවිය. ඒ කිකිළියක වීමේ වරදට වන්ට ඇත. කුදලාගෙන යද්දී ඈට තදින් දිය පිපාසයක් දැණුනි. ඈ මරු විකල්ලෙන් කෑ ගෑවාය. ඈ දැගළුව නමුත් එක් මොහොතක සියල්ල නතර විය..අපේ කථා නායිකාව අවසන් ගමන් ගියාය...දුකෙන් කෙසේ වුවත් ඈ සිය කුකුල් ජීවිතයෙන් මිදුණාය...

රතු කිකිළීගේ මරණයෙන් දින දෙකකට පසු කුකුළන් මැරූ කකුල කොර මිනිසාද හෘදයාබාධයකින් මිය ගියේය...

සති කිහිපයක් ගත විය. තවත් දිනක කුකුළු කූඩුවට හිරු උදාවිය. කුකුළන්ට කෑම දෙන කෙට්ටු මිනිසා කුඩා කුකුළු පැටවුන්ගේ කූඩුවට අලුත උපන් පැටවෙකු ගෙනත් දැම්මේය. ඌ අමුතුය. උගේ හිස මදක් මහත වූ අතර එක් කකුලක් කොරය.. 



                              ***********************



                         

Monday, February 4, 2013

නන්ගිට හැදිච්ච අමුතු ලෙඩේ!



වැලි කෙළියෙ ඉදන් මගෙ හොදම මිතුරිය වූ ඈ එක කුස නූපන්නත්, මගේම නන්ගී වගේය. ඈ මගේ පුන්චම්මාගේ දුවය. පොඩි කාලෙ ඉදන් එකට හැදුණු අපි දෙන්නා ඉස්කෝලෙ ගියෙත් දහම් පාසල් ගියෙත් එකටය. සීනි බෝල කෑවෙත්, කෝම්පිට්ටු හැදුවෙත්, සෙල්ලන් ගෙවල් හැදුවෙත් එකටමය. ලොකු මහත් වුණාට පසුව හොර ලියුන් ලීවෙත් එකටමය. මම සරසවියෙ අවසන් වසරේ ඉන්නා විට නන්ගී උසස් පෙළ ලියමින් සිටියාය. අපි දෙන්න වෙන් උනේ දේශ සන්චාරයට මා තුළ තිබූ පිපාසය
නිසාය. සරවිය අවසන් කළ මට ඔනෑ කළේ රටින් පලා යන්ටය. ඒ ඉගෙන ගන්නවත්, සල්ලි හොයන්නවත් ඇති උනන්දුව නිසා නොවෙයි. ඉබාගාතේ ඇවිදීමට මගේ සහජයෙන්ම තිබූ ආසාව නිසාය.

පුන්චි කාලේ මන් හීන දැක්කෙ නැවකට නැගී මහ සයුර තරණය කර ලෝකෙ වටේ යාමටයි. අමුතු භාෂාවල් කතා කරන අමුතු මිනිස්සු අතර අතරමන් වීමටයි. ඒනිසා උසස් අද්යාපනය නම් වූ මොකක්දෝ එකක් මුවාවෙන් හදිස්සියෙ හමුවෙච්ච නැවකට නැගුණු මම පාවී ගියේ "ඇවුරෝපා" නම් වූ මහද්වීපයකටය. ඒකෙත් අමුතුම හා සුන්දරම කොටසක් වූ නැගෙනහිර පැත්තටයි.

 එහි ගොස් ටික දවසක් යනවිට මට තේරුණේ මම අලි අමාරුවක වැටී ඇති බවයි..! මෙය පුදුම රටකි. මෙහි මිනිස්සු තම මව් බස හැර වෙන බසක් කතා කරන්නේ නැත. දැනගත්තත් කතා කරන්නේ නැත. ඉන්ග්‍රීසි කතා කරනවාදැයි ඇසූ විටද මුන්ට මල පනිති..! කඩයකට ගියත්, මහපාරේ ගියත් ප්‍රශ්නයක් අසන්න වෙන්නේ අතින් පයින්ය..මට පාළුවක් දැණුනි..ඉන්ග්‍රීසි බසින් ඉගෙන ගත්තද මෙරටෙහි බස නැතිව පවතින්නට අමාරු හැඩකි..සන්නිවේදන බාධක නිසා වෙච්ච වැඩක්..! මට ගෙදර මතක් විය..

නන්ගී නැති පාළුව මුලින් මට තදින්ම දැනෙන්ට විය. එය ටිකක් හරි තුනී වුණේ මට ටික කලකින් තවත් 'ගජියක්' හමු වීම නිසාය. ඇගෙ නම අන්ද්‍රියාය. අප දෙදෙන හමු වූයේ මෙසේය. දවසක් භාෂා විද්යා දේශනයේදී එක් සිසුවියක් පන්තිය ඉදිරියේ කථාවක් කළාය. ඇය ඇමෙරිකානු ජාතික සිසුවියකි. මා එසේ සිතුවේ ඇගේ උච්චාරනයෙනි. ඇගේ කතා විලාසය චතුරය. හප්පේ! හොලිවුඩ් ෆිල්ම් එකක් බලනවා වගේය. ඈ කථාව අවසන් කර ඇවිත් වාඩි වුනාය. ඇමරිකානු ජාතිකයෙක් මට කලින් හමු වී නැති නිසා ඉඩ ලැබුණු වෙලාවක ඈ හා කතා කරන්නට සිතා ගත්තෙමි. එහෙත් පුදුමයකට මෙන් මිනිත්තු කීපයක් යන්නට පෙර ඈ තවත් සිසුවියන් එක්ක මෙරට භාෂාවෙන් වතුර ලෙස චතුරව කථා කරන්නට ගත්තාය.! හෑ! මම පුදුම වුණි. ඇය ඇමෙරිකානු ජාතිකයෙක් නොවන මුත් වසර දෙකක් ඇමෙරිකාවේ ඉගෙන ගත් බව දැන ගන්නට ලැබුණි. වැඩි දිනක් යන්නට පෙර අප දෙදෙන මිතුරු විය. ඇගේ නම අන්ද්‍රියා විය. ඈ මගේ හොදම "ගජිය" විය. ඈ ලෝකයේ විවිධ භාෂාවල් ගැන මෙන්ම සන්ස්කෘතීන් ගැනද ඉගෙනීමට ආශා කළාය. අප දෙදෙනා හිතන්නේ එකම විදියටයි. ඈ එක්ක මම අපෙ පවුලේ අය ගැනත් අපේ නන්ගී ගැනත් බොහෝ දේ කතා කළෙමි. අන්ද්‍රියා මට ඇගේ භාෂාව ඉගැන්නුවාය. මාද එය ඇගේ උදව් ඇතිව මැනවින් ඉගෙනගත් බැවින් එයින් මගේ භාෂා ප්‍රශ්නය විසදුනි. ඈ මගේ රට ගැන බොහෝ දේ අසා දැන ගත්තාය. එපමණක් නොව සති කීපෙකින් සින්හල හෝඩියෙ අකුරුද ලියන්න පුරුදු වුණාය! 


කලක් යන විට මම තවත් මිතුරන් ගොඩක් අදුන ගත්තෙමි. සරසවියේ කථන හා භාෂා චිකිත්සා අන්ශයේ සිටි එකම ශ්‍රී ලාන්කිකයා පමණක් නොව එකම ආසියාතිකයාද මම විය. මා හා කථා කිරීම හා අපේ රට, සන්ස්කෘතිය ගැන දැනගැනීම ඔවුන්ට අපූරු අත්දැකීමක් විය. අපේ රටේ ඇති වනාන්තර, ශාක හා සත්ව විශේෂ, ඉන්දියන් සාගරයේ සුන්දර වෙරළද ගැන ඇසූ මගේ මිතුරන්, "පාරාදීසයක් වගේ රටකින් ඇවිත් ඔයා මෙහෙ මොකද කරන්නෙ?" යයි අසති..ඊට දෙන්න උත්තරයක් මට තිබ්බේ නැත..!

තව මාස කීපයක් යත්ම ටිකක් පුදුම දෙයක් සිදුවුණි. කිසි යම් හේතුවකට මාව සරසවිය තුළ ප්‍රසිද්ධ වී තිබෙන හැඩකි.
එරටෙහි භාෂාව මැනවින් ඉගෙන ගත් නිසා ඉන්ග්‍රීසි පමණක් කථා කළ අනෙකුත් විදේශික සිසුන් අතර මා සුවිශේෂ විය. දවසක් තේ කාමරයේදී දෙවන වසර සිසුන්ට භාෂා වේදය (ෆයිලොලොජි ) දේශනය කරන එරිකා ෂ්මිට් මෙනෙවිය කතාවට සැට් විය. අදුරන්නේ නැති දෙන්නෙක් එක ලග සිටියොත් තමාව අදුන්නලා දීම මෙරටෙහි සිරිතය. "හෙලෝ එරිකා මගෙ නම අශාන්ති". "ඔහ් ඔයාද ඒ??" ඈ පුදුම වී ඇසුවාය. "ඔයා ශ්‍රී ලන්කාවෙන් නේද?" මම උඩ ගියෙමි. ඇගේ අපේ වසරට දේශන කරන්නේද නැත :O "ඔබ මාව දන්නවද?" මම හොල්මන් වූ ගමන් අසමි. "අහ් ඔයා හරි ප්‍රසිද්ධයි නේ" මම ඩබල් හොල්මන්ය. 
"ඔයා හරිම ලස්සනට අපේ භාෂාව කතා කරනව කියල තමයි අහල තියෙන්නෙ. අපේ භාෂාව විදේශිකයන්ට ලේසියෙන් අල්ල ගන්න පුළුවන් එකක් නෙවෙයි. කතා කරන අය ඉන්නව හැබැයි උච්චාරණය හොද නැහැ. ඔයා හරියටම ඔයාගෙ මව් බස වගේ ලේසියෙන් කතා කරනව කියල ළමයි කිව්වට මම විශ්වාස කළේ නැහැ. දැන් මගේ කන් දෙකෙන්ම ඇහුවනෙ" ඈ සිනාසුණාය. "ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන. ඔයා මෙහෙද ඉපදුණේ?" "නැහැ" "එහෙනම්? අවුරුදු කීයක් මෙහෙ හිටියද?" "මම ඇවිත් මාස 5යි". 
 "මොකක්?? විහිළු කරනවද? මාස 5කින් ඔච්චර ලස්සනට කතා කරන්න ඉගෙන ගත්තෙ කොහොමද? දැන් හොල්මන් වී ඇත්තේ ඈය."කොහෙද ඔයා පන්ති ගියෙ?" "මම කවදාවත් පන්ති ගියෙ නැහැ. මගෙ යාළුව තමයි ඉගැන්නුවෙ. මම එයා එක්ක ප්‍රැක්ටිස් කරනවා. පුළුවන් හැම වෙලේම අනික් අයත් එක්කත් කතා කරනවා." ඈ පුදුම වී බලා සිටියි. "ඔයා තමා මට හමුවුණු පළවෙනි කෙනා, මෙච්චර ලස්සනට කතා කරන. ඒකත් මෙච්චර කෙටි කාලෙකින්. අවුදු 20ක් තිස්සෙ මෙහෙ ඉදලත් කතා කරන්න බැරි අය මට හම්බෙලා තියනවා.ඔයා නම් පුදුම ළමයෙක්" 
"මට කියන්න" ඈ කුහුලෙන් අසයි. "මොකක්ද ඔයාගෙ මව් භාෂාව" "සින්හල" "අහා, ඉන්දු ආර්යන් භාෂාවක් නේද ඒක? සන්ස්කෘත වලින් සම්භවය වෙලා තියෙන්නෙ, එහෙම නේද?" "ඔව්" "මම එහෙම ඇහුවෙ ඒක ටිකක් හරි අපිට කිට්ටු භාෂාවක්ද කියල බලන්න, ඔයා එච්චරටම හොදට කතා කරනවා...එතකොට, ඒ කියන්නෙ..සින්හල කථා කරන අයට භාෂාවල් ඉගෙන ගන්න ලේසිද නැත්තම් ඔයාගෙ දක්ෂ කමද? නැත්තන් දෙකමද?" මම සිනාසුණෙමි. මගෙ මුහුණ මටම නොපෙනුණත්, එය ශ්‍රී ලාන්කිකයන්ට උරුම නිහතමානී සිනාව බව මට දැණුනි.

"පොඩ්ඩක් ඉන්න..සින්හල වලට ලගම භාෂාව හින්දි නේද?" "ඔව්. හින්දියි, බෙන්ගාලියි" 

"ඒත් මට කොච්චර ඉන්දියානුවො මුණගැහිල තියනවද?. සමහර අය මෙහෙ පුරවැසි භාවය අරගෙන අවුරුදු ගානක් මෙහෙ. මට අඩු ගානෙ ඒ ගොල්ලන්ගෙ ඉන්ග්‍රීසි වත් තේරෙන්නෙ නැහැ. හරිම අමුතු උච්චාරණයක්..."මට ලන්කාවෙ කෙනෙක් හමු වුණු පළවෙනි වතාව..හින්දි භාෂාව ඔයාලට මෙච්චර කිට්ටු වෙලත් ඔච්චර ලොකු වෙනසක්..? මම ඒ ගැන තව විස්තර හොයාගෙන කියවන්න ඕනේ...ඔයා එක්ක කතා කරන්න ගොඩක් ආසයි..ඉක්මනටම ආයෙත් හමු වෙමු.." කියූ ඈ දේශනයකට නික්ම ගියාය. පිටරටකදී ඇතිවන ශ්‍රී ලාන්කීය අභිමානය මටද දැනෙන්නට විය. :)



                                        ************



තුන් වසරකින් දේශ සන්චාරය අවසන් කළ මම ගෙදර එන්නට පිටත් විය. මම මගෙ හොදම මිතුරිය අන්ද්‍රියාගෙන් වෙන් වුනේ ගොඩක් දුකෙන්. නන්ගීව මතක් කරන ලෙසත් ඈ සින්හල අකුරු ඉගෙන ගත් බව ඇයට කියන ලෙසත් අන්දෘෂ්කා මගෙන් ඉල්ලීමක් කළාය. ඈ කවදා මුත් මා බැලීමට අපේ රටට එන බවත් එදාට සින්හලෙන් කතා කර මගේ පවුලේ අයව පුදුම කරවන බවත් ඈ කීවාය. මගේ පුන්චි මිතුරිය ගැන මට ආදරේ හිතුනි.

ගෙදර ආවෙමි. ගෙදර අය හොදිනි. නන්ගී දැන් බැන්කුවේ රැකියාවක් කරයි. පිටරට ඉදිද්දී අම්මා අප්පච්චි එක්ක ගොඩක් විට කතා කළද නන්ගීව මට මග හැරිලාම ගියේ ඇගේ වැඩට යන වෙලාවල් අමුතු හින්දාය. ගොඩක් විට ඈ වැඩ කරන්නේ රෑටය. අන්තිම අවුරුද්දේ අපි දෙන්නා කතා කළේම නැති තරම්ය. එනිසා පුනරාගමනයෙන් ඊළග දවසෙ මම පුන්චම්මලාගේ දිහෑ ගියේ නන්ගී බැලීමටය.

"ආනේ ලොක්කි" පුන්චම්ම කෑ ගෑවාය. "හිටපු විදියමයි, චුට්ටක්වත් වෙනස් වෙලා නෑ. හැබැයි ටිකක් මහත් වෙලාද මන්ද. නන්ගි නිදි, මන් ඇහැරවන්නම්"

නන්ගී මා දැක ඈ පස්වනක් පීතියෙන් පිනා ගියාය. මේ අවුරුදු ගානට නන්ගී ගොඩක් ලස්සන වී ඇත. රීබොන්ඩ් කරන ලද ඇගේ කොන්ඩෙ පාට පාටය. නහයේ කඩුක්කමකි. කකුලේ ටැටූ එකකි. ටිකක් වෙලා ඈ හා කතා කරද්දී මට වෙනසක් දැනුණි...! බොලේ! යසට හිටපු නන්ගීට අමුතු ලෙඩක් හැදී ඇත..!


ඈ සින්හල බස හසුරුවන්නේ අමුතු විදියටයි..! කතා කළ වචන වලින් සියේට අනූවක් ඉන්ග්‍රීසි වූ අතර අතරින් පතර කියූ සින්හල වදන් ඉන්ග්‍රීසිද සින්හලද යැයි හොයා ගන්නට බැරි තරම් විකෘතිය...:O අනේ හත් දෙය්යනේ..වෙච්ච වින්නැහියක්..ඈ "ට" යන්න කියන විට ඇහෙන්නේ "ච" යන්නයි. ඊයා! මට අප්පිරිය හිතුනි. "ර" යන්නද මහ අන්ගවිකලය. ඈ වැඩ කරනවාය කිව්වේ ඉන්ගිරීසි අකුරු හතරේ බැන්කුවකය. එකත් එකටම මේ ඒකෙ අතුරු ඵලයකි..!

ඈ දිගින් දිගටම මගෙන් ඇසුවේ මා එහෙදි ෂොපින් කරපු තැන්, අහවල් බ්‍රෑන්ඩ් එකේ පර්ෆියුම් එහෙ තියද, මම ගෙනාවෙ කවර බ්‍රෑන්ඩ් එකේ ඇදුම්ද ආදියයි. මගේ අප්පිරියාව වැඩි විය.  ඈ ඇසූ කිසිම දෙයක් මම ගෙනත් තිබුණේ නැත. "මොනාද අනී..අවුරුදු 3ක් රට හිටියට වැඩක් නෑ ඔයා වැඩකට ඇති දෙයක් ගෙනල්ල නෑනි"..මම ගෙනාව වැඩකට ඇති දේවල් ගැන මම දනිමි. එව්වා ඈට වැඩක් නැති උනාට මට කරන්ට දෙයක් නැත. නන්ගී මෙච්චරටම වාණිජකරණයට ලක් වුණේ කෙසේද? මම කළකිරෙමි..

ගෙදර එන්න පිටත් වෙන්න කලින් මට කතා කර ඇගේ ෂොපින් ලිස්ට් එක දෙන්න බැරි වීම ගැන ඈ පසු තැවිලි විය.

"ඇයි බන් ඔය තියන ඒවා මදිද? කන්ණාඩි මේසයක් පුරෝල සැන්ට් කුප්පි..හැම මාසෙම මොකක් හරි සරුවාලයක් ගන්නවා..මාසෙ පඩියම ඉවරයි ඇදුම් වලටයි ඇගේ උලන එව්වටයි.  ඒ මදිවට ඔය ගහන සැන්ට් ජාතිවලින් කවද හරි අමුතුම ලෙඩක් හැදෙනවා...ඔය තියන එකක් පාවිච්චි කරහන්".පුන්චම්මා කෑ ගායි.

"අයියූ ඒවා ලෝකල් බ්‍රෑන්ඩ්ස් නෙ අම්මෙ. මගෙ යාළුවෙක් ලගදි ගත්තා ඉම්පෝටඩ් පර්ෆියුම් එකක්. මටත් ඕනෙ ඊට වඩා හොද එකක්.තව එයා ගත්ත අමූතු සුවදක් තියන හෙයා ඔයිල් එකකුත්. ඒක ජර්මනි වලින්ලු.." 

නන්ගී කට ඇද කර ඇගේ අමුතු බසින් කියයි. මට මතක් වුනේ මගෙ නේවාසිකාගාරයේ සිටි ජර්මන් ජාතික ජොඈන්ය. ඈ ඇගේ ගෙදරින් ගෙනා කොන්ඩා අලේපනය විසි කර දැමුවේ එයින් සමට ඇති අතුරු ආබාධ ගැන සිතාය. එසේ කර ඇය නගරයේ තිබූ ඉන්දියානු වෙළද සැලකින් ඖෂධීය හෙනා ආලේපනයක් ගල්වන්නට ගත්තේ මෙවැනි ස්වාභාවික ශාකසාර වලින් තැනූ ආලේපන ඉතා දුලබ බවත් ඇගේ රටේ නම් මෙය ඉතාම් මිල අධික බවත් පවසමිනි. පෙරදිග ස්වාභාවික නිෂ්පාදන වලට බටහිර රටවල ඇති ඉල්ලුම දන්නා ඉන්දියානුවෝ ඔවුන්ගේ දේශීය භාණ්ඩ එහි විකුණා මිලියන ගණන් උපයති. අපේ හරක් බටහිරින් ඉවතලන් වස විස මිලදී ගන්ට මාසෙ පඩියම වැය කරති..!

"පොඩ්ඩක් හිතපන් ශානි..කීයක් හරි ඉතුරු කරගන්න ඕනෙ නැද්ද? රෑ නිදිමරාගෙන වැඩ කරල හොයන සල්ලි ඉවරයි සුකුරුත්තන් වලට. අඩු ගානෙ උඹ ගෙදරින් කෑම එකක් ගෙනියනවද?" පුන්චම්මා බනියි.

"එහ් මොකෝ කෑම ගෙනියන්නෙ නැත්තෙ." මම පුදුම වෙමි.

"දන්නෙ නැද්ද අනී අපෙ ඔෆිස් එකේ කෙල්ලො. උන් හැමදාම මැක් එකෙන් හරි කේ. එෆ්. සී එකෙන් හරි තමයි කෑම ඕඩ කරන්නෙ. ගෙදරින් කෑම ගෙනිච්චොත් උන් මට හිනාවෙයි. අම්මා හදන්නෙත් හරි ගොඩේ කෑමනෙ"...

...මට වමනෙට එන්ට වගේය. මුන් නම් අම්මප බත් කන හරක්ය. මැක් ඩොනල්ඩ්ස් යනු සවුක්කියට ඉතාම අහිතකර ෆාස්ට් ෆුඩ් නිෂ්පාදනය කරන්නන් ලෙස හන්වඩු ගසා ඇති බව පුන්චි එකෙකු වුව දනිතැයි මම සිතා සිටියෙමි. ඇමරිකාවේ මිල අඩුම ආහාර වේලක් ගන්නට කෙනෙක් යන්නේ ඒකටය. ඊට පින්සිදු වන්නට තරබාරු කම, දිය වැඩියාව හා හර්ද රෝග වලින් පෙළෙන ජනයා ජීවත් කරන්නට ඇමෙරිකානු රජය ඩොලර් කෝටි ගණනින් වියදම් කරයි!
පුන්චම්මා ගෙදර උයන නිවුඩු හාලේ බත් වල හා ගොටුකොළ මැල්ලුමක ඇති ගුණයෙන් සියේට දහයක් එහි නැත. මගේ නන්ගී ඒකට පයින් ගසා වස විස පිරි ෆාස්ට් ෆුඩ් ජරාව කා කෝක් බොයි...! මෙව්වාට කියන්ට වචන නැත. ජුගුප්සා ජනකය. ඊයාය. කක්කාය. 

අපේ රට නිදහස් කීවාට නිදහස් නැති හැටියකි. අපි තවදුරටත් අප ගැන ආඩම්බර නැත. අපි තවමත් අධිරාජ්යවාදයේ ගැත්තන්ය. අපි කළුහම ඇති, සුද්දන්ට කත් අදින පිරිසක් වගේය. අපූරු කතාව කියන්නේ අපි එය දන්නේ නැත..! අපේ රට නිදහස් යැයි උදම් අනා මුන් යළිත් බටහිරට හැරී වන්දනා කරත්... අප වන්දනා කරන බටහිර අධිරාජ්යය බන්කොලොත් වී යමින් පවතී. එහෙත් අපි එතැනටම වැදගෙන සිටිමු...


මට මගේ පුන්චි මිතුරිය අන්ද්‍රියා සිහි විය. හැබෑටම මගෙන් සින්හල උගත් අන්ද්‍රියා දැරිවි මීට ලස්සනට සින්හල කතා කළා කීවොත් අතිශ්යෝක්තියක් නොවේම‍යැ..! ඈ සින්හල අකුරු උගත්තාය. එය ඈට අලුත් අත්දැකීමක් විය. ඈ කීවෙ මා බලන්ට ඇවිත් නන්ගී එක්කත් සින්හල කතා කරන බවය. අනේ කෙල්ලෙ දැන් නම් එයින් පලක් නැත. අපෙ නන්ගි එක්ක කතා කළොත් ඔය දන්න ටිකත් පැටලිලා මොළේ කොලොප්පන් වේය. ඒ මොකද දැන් මේකි කතා කොරන්නෙ සින්හල නෙවේය. වෙනත් දේශයක සිට දුරු කතර ගෙවාවිත් ඈ දැකීමට බලාපොරොත්තු වූ පාරාදීසයේ මිනිස්සුන් ඈ හිතුවාට වඩා වෙනස්ය. ඒ වෙනස මම දැන සිටි වෙනසකි.එහෙත් එය මට පෙනෙන්නේ දැන්ය....උන් "පොෂ්" යන වචනයකට මුලා වී තමන්ගේ රටේම ආගන්තුකයන් වී අතරමන් වී සිටිති..

අන්ද්‍රියා කෙල්ල ඉන්ග්‍රීසි කතා කළේ ඉන්ග්‍රීසි ලෙසය. නිකම්ම ඉන්ග්‍රීසි නොව චතුර ඉන්ග්‍රීසි ලෙසය. සිය මව් බස කතා කළේ මව් බස ලෙසය. අසුරු ගසන සැනෙකින් භාෂා කිහිපයක් අතර මාරුවන්නට ඈට හැකිය. නමුත් ඒ එක භාෂාවකින් අනෙකක උච්චාරණයට කිසිසේත්ම බලපෑමක් නැත..! අපෙ එකී ඉන්ග්‍රීසි ටිකක් කට ගා ගත් පමණින් මව් බස විකෘති කළාය. ඈ ඇමෙරිකානු හෝ බ්‍රිතාන්ය ඉන්ග්‍රීසි කතා නොකරයි. එහෙයින් ඉන්ග්‍රීසි මව් බස ලෙස කතා කරන අයට ඇගේ ඉන්ග්‍රීසි අමුතුය. ඔය කියූ රටවලට ගියොත් ඈ කළු හම ඇති දකුණු ආසියාතිකයෙකි. එතකොට මේ රටේදී ඈ මොකෙක්ද? ඉන්ග්‍රීසි සින්හල දෙකම බැරි එකියෙක්ද? ඈ අයිති කොහාටද? ඈට රටක් නැත්ද?

නන්ගී පාටියකට යාමට සූදානම් වෙයි. ඈ පුන්චම්මා කීවාක් මෙන් සරුවාලයක් ඇදගෙන ආවාය. ටික වෙලාවකින් ඇගෙ කොලුවා අජානීය තුරගෙකු පිට නැග ආවේය. ඌ කෙල්ලෙක්ද කොල්ලෙක්ද යන්න සොයාගැනීමට මට ටික වෙලාවක් ගතවිය..."දුවේ බත් කාල යන්න. අද කීයටද එන්නෙ..රෑ වෙන්න එපා එදා වගේ..' පුන්චම්ම කෑ ගසයි. ඒත් ඒ ඇසෙනා මානයෙන් ඈ ඉගිල ගොස් හමාරය...  



Saturday, January 19, 2013

ඔබේ සැමීව සැකද? එහෙනම් මේ කරුණු 20 කියවන්න.



ළගදී ටිකක් දුක හිතෙන දෙයක් සිද්ධ උනා. මගේ ළගම මිතුරියක් ඇගේ සැමියාගෙන් වෙන් උනා. ඊට හේතුව? නොගැළපීමලු...මම ඇයව හමුවෙන්න ගියා....

ඇගේ අදහස නම් ඔහු වෙනත් කතක් ඇසුරු කරන බවයි. ඈ කියන්නෙ ඔහු ගැන මාස ගාණක් තිස්සෙ ඇහැ ගහගෙන හිටියයි කියලා. ඔහුට එන කෙටි පණිවිඩ පවා ඇය කියවලා! ක්‍රෙඩිට් කාඩ්, දුරකථන බිල් ඔක්කොම බැලුවලු. ඒත් මුකුත් හොයාගන්න බැරිවුනාලු. මේ අතර හදිස්සියෙම ඔහු ඇගෙන් වෙන්වෙන්න තීරණය කරලා...


විවාහ ජීවිතයට ඔබ පිවිසෙන්නෙ දහසක් බලාපොරොත්තු ඇතිව නේද? ඒත් කාලයත් එක්ක තමයි තේරෙන්නෙ විවාහය කියන්නෙ කොච්චර සන්කීර්ණ දෙයක්ද කියලා. ඒ අතරට එන ලොකුම අභියෝගයක් තමයි සැමියා සහ බිරිය අතර සබදතාවය වෙනස් නොවී පවත්වාගෙන යන එක. හුගක් විවාහක බිරින්දෑවරුන්ට තියන සැකයක් තමයි තම සැමියා අන් ළදක් සොයා යයි කියන බය. ඒකට ඔවුන් නොයෙක් දේවල් කරනවා. හැමතිස්සෙම ඔහුගෙ දුරකතනයට අමතමින් කොහෙද ඉන්නෙ කියලා අහනවා. ඕනෑවට වඩා හැමදේම හාරාවුස්සමින් ඔහුට හිසරදයක් වෙනවා. මේ ඔක්කොම කරන්නෙ ඔහුව නැතිවෙයි කියන බයට. ඔහුව තමා ළගම රදව ගන්න. ඒත් අවාසනාවට වගේ වෙන්නෙ අනිත් පැත්ත. මේ බොරු බිය නිසාම හුගක් විවාහ ජීවිත අසාර්ථක වෙනවා. ඊට වඩා හොදයි ඔහු වෙනත් කාන්තාවක් සොයා යන්නෙ නැති වෙන විදියට ඔබේ විවාහ දිවිය ලස්සන කර ගන්න එක. පහතින් ඇති කරුණු සමහර විට උදව් වේවි.

1. ඔහුව අගය කරන්න. හැම කෙනෙක්ම ප්‍රශන්සාවට කැමතියි. ඉදහිට හරි ඔහුගෙන් ලැබෙන උදව්වකට ස්තූති කරන්න, නැත්තම් අගය කරන්න. ඔහු කලින්ට වඩා උනන්දුවෙන් උදව් කරන්න පටන්  ගන්න බව පෙනේවි. පුන්චි වචනෙකට ඉතාම ලොකු වෙනසක් කළ හැකියි.

2. හැමතිස්සෙම ඔබ කියන දේ හරි කියලා ඔප්පු කරන්න හදන්න එපා. ඔහු කියන්නෙ ඇත්තක් තියනවා නම් "ඔව් ඔයා කියන එකත් හරි" කියන්න තරම් නිහතමානී වන්න. වචන හුවමාරුවකට ඉබේම නැවතීම තිත තියන්න මේ වචන කිහිපයට තියන බලය ඔබට පෙනේවි! 

3. ඔහුට තරහ ගිය වෙලාවට දේවල් තේරුම් කරන්න උත්සාහ කරන්න එපා. ඒකෙන් තත්වය තවත් නරක් වෙනවා නම්. ඕනෙම නම් ඔහුගෙ තරහ නිවිල හොදින් ඉන්න වෙලාවක කියන්න.

4. සතුටින් ගත කරන මොහොතක ප්‍රශ්න කතා කරන්න එපා. ඒ වෙලාව සතුටින් ගත කරන්න.

5. ඔහුට ඇහුම් කන් දෙන්න. ඔහු කියන දේ ඉතාම සාවධානව අසා සිටින්න. තේරුම් ගන්න. ඔහුගෙ ප්‍රශ්න කියන්න පුළුවන් හොදම හිතවතිය බවට පත්වන්න. ඔබ ඉබේම ඔහුගෙ විශ්වාසය දිනා ගන්න.

6. ඔහු කැමතිම කෑම වර්ගයයෙන් ඉද හිට සන්ග්‍රහ කරන්න.

7. ඔහුට සුබ පතන්න.

8. සතුටින් සිටින්න. සතුටින් හිනාවෙලා ඉන්නා විට ගෙදර සතුටුදායක පරිසරයක් ඇතිවෙනවා. ඔහු ඔබව ප්‍රය මනාප ලෙස දකීවි. හැම තිස්සෙම මුහුණ එල්ලා ගෙන ඉන්න කොට ඔහු සතුට තියන වෙන තැනකට ඇදී යාවි.

9. හිතේ ප්‍රශ්නයක් තියන විට ඒක හිතේ තියාගෙන ඔහු අහනකන් මුහුණ එල්ලා ගෙන ඉන්න එපා. එය කතා කරල විසදගන්න. ඔහු ඔබේ හිත කියවයි කියල බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට ඔහුගෙ හිත සතුටින් ඉන්න වෙනත් කෙනෙකු වෙත යාවි.

10. ඔහුගේ මව්පියන්ට ආදරෙන් සලකන්නෙ. ඔවුන්ගෙ හොද කියන්න. විශේෂයෙන් ඔහුගෙ මවව කවදාවත් විවේචනය කරන්න එපා.

11. ඔහු කැමති දේවල් වලට, රසාස්වාදයන්ට ගරු කරන්න. ඔබ කොච්චර අකමැති වුණත් එය නිතර විවේචනය කරන්න එපා. ඒ වගේම ඔහු අකමැති දේවල කරන්න කියා බල කරන්න එපා. සාප්පු යන්න ඔහු අකමැති නම් බලෙන් ඇදගෙන යන්න එපා.

12. ඔහුගෙ නිදහසට ගරු කරන්න. හැමතිස්සෙම ඔහුව සැක කරන බව පෙන්නන්න එපා. ඔහුගෙ කෙටි පණිවිඩ, මුදල් පසුම්බි ආදිය පරීක්ෂා කරමින් ඔහුගෙ පුද්ගලික නිදහස අනවශ්ය විදියට ආක්‍රමණය කරන්න එපා. ඔබව එපා වෙන්න පළවෙනි හේතුව එය වෙන්න පුළුවන්.

13. ගෙදර අණ දෙන නිලධාරිණිය ඔබද? උස් හඩින් කෑ ගසා ඔහුට අණ දෙනවාද. එය ඔහු අකමැති තවත් හේතුවක්. ඔහු ඔබට යටත් වෙලා ඉන්න කැමති නැහැ. විවාහය කියෙන්නෙ එකිනෙකාගෙ අදහස් වලට ගරු කිරීම මත් පවතින දෙයක්.

13. ආත්ම විශ්වාසයෙන් සිටින්න. තමන්ව අගය කරන්න. තමන්ට ගරු කරන්න. එවිට ඔහුත් ඔබට ගරු කරාවි.

14. අන් ළදුන් සමග ඇති ඉරිසියාව හැම විටම ප්‍රකට කරන්න එපා. එතකොට එය ඔබේ ආත්ම විශ්වාසයේ අඩුවක් ලෙස ඔහු දකීවි.

15. නිදහස්, සවිමත් කතක් වන්න. හැම දේටම ඔහුගෙ උදව් ඉල්ලන්න එපා. ඔබේ නෑ මිතුරු සබදකම් ඒ අයුරින්ම පවත්වාගෙන යන්න. ඔබට ආදරය කරන තවත් අය සිටින බව ඔහු දැන ගත යුතුයි.

16. ලස්සනට සිටින්න. ලස්සනට අදින්න. ගොඩක් අය විවාහ උනාම රූපය ගැන සැලකීමක් නැති වෙනවා. ඔබ කෙරේ ඔහුගෙ ආකර්ෂණය දිගටම පවත්වා ගෙන යන්න එය උදව් වෙනවා. නැත්නම් ලස්සන කතුන් දැක්කම ඒ දිහා බැලෙන එක ඔහුටම නවත්වා ගන්න බැරි වේවි.

17. සාර්ථක ලින්ගික ජීවිතයක් පවත්වාගෙන යන්න. හුගක් බිරින්දෑවරු හිතන්නෙ ඒක ඔහුගෙ වැඩක් කියලා. අවාසනාවකට වගේ ගොඩක් සැමියන් වෙනත් ඇසුරක් සොයා යාමට විතරක් නෙවෙයි, නිතර මත්පැන් බොන්නත් හේතුවන් තමයි ඔහුගෙ මුදුන්පත් නොවූ ලින්ගික අවශ්යතාවයන්. කාන්තාවන්ට එය හැගීම් මූලික කරගෙන ඇතිවෙන දෙයක්. එක්තරා වයසකට පස්සෙ ඇය හිතනවා එය අවශ්ය නැහැ කියල. ඒ උනත් පිරිමි අයට එය වඩාත් ශාරීරික අවශ්යතාවයක්. එය විවාහ ජීවිතයෙන් නොලැබුණාම ඔවුන් එය හොයා ගෙන යාම හරි, මත්පැන් බීම හරි නවත්වන්න අමාරුයි.

18. ලින්ගික ජීවිතයේදි ආත්ම විශ්වාසයෙන් සිටින්න. එය ඔහුගේ වැඩක් කියලා නිකම් ඉන්න එපා. ඉතා හොද ලින්ගික දැනුමක් ලබා ගන්න. ඔහු එය ඉතා අගය කරාවි. ;) වෙනදාට වඩා ඔහු සතුටින් සිටීවි...

19. විවාහයේ ලොකුම සතුරා මමත්වය බව තේරුම් ගන්න. විවාහයේ පදනම එකිනෙකාව අවබෝධ කරගැනීමයි. වැරැද්දක් සිදු වූ විට සමාව ඉල්ලන්න. රණ්ඩුවකදි ඔබ දිනුවා කියල හිතුවට ඔබ ඒ දාගත්තෙ රිණ ලකුණක්.

20. ඔබ දෙදෙනා පුද්ගලයන් දෙදෙනෙකු බව මතක තබා ගන්න. දෙන්නෙක් කවදාවත් එක වගේ වෙන්නෙ නැහැනෙ. ඔබ හිතන විදිය, ජාන සන්යුතිය, හැදී වැඩුණු විදිය වෙනස්නෙ. ඒ වෙනස් කම් තේරුම් ගන්න.

හැම සාර්ථක මිනිසෙක් පසුපසම ගැහැනියක් ඉන්නවලු. ඔබත් ඒ ගැහැනිය වන්න. ඒ සාර්ථක මිනිසා වෙන්න ඔහුට උදව් කරන්න

Sunday, January 6, 2013

බූට් සපත්තුවක්, විවාහයක්, මරණයක් හා සන්සාර චක්‍රයක්...




ඔහු හා මම වසර හතරක් ප්‍රේම කෙළෙමු. ඉනික්බිති ඔහු මා හැර ගියේය. අන් පෙමක්ද සොයා ගත්තේය. ඈ හා විවාහ වන්ටද තීරණය කළේය.   මුලින් විහිළුවක් ලෙස සියල්ල පෙණුනද දැන් ඊට දිනද නියම වී ඇති සෙයකි. මා අත ඇති මන්ගල ආරාධනා පත ඊට සාක්ෂිය. කෘර ලෙස මගේ හදවත බිද දැමූ ඔහු දැන් මන්ගල කාඩ් පතක් එවා මට ඊට ආරාධනාද කර ඇත්තේ මට රිදවන්ටම විය යුතුය. මන්ගල බෙර වයා, පෝරුවට නැග, දෑගිලි බැද ඔහු ඇය හා විවාහ වනු ඇත. ඔහුගේ වෙන්ට මනමාලිය ලස්සන බව කවුදෝ කියනවා මට ඇසී ඇත. සොයාගෙන ගොස් ඈගේ මූණට දෙකක් දෙන්නට මට සිත් වේ. ඇමතුමක් දී ඔහුට බැණ වදින්නට මට සිත් වේ....

 එහෙත් මා ලවා ඉරිසියා කර ගැනීම ඔහුගේ මෙන්ම ඇයගේද අභිමතාර්ථය විය හැක.එහෙත් කිසි වෙනසක් නොපෙන්වා මන්ගල්ලයට යාම කළ නොහැක්කකි. එහිදී මගේ හදවත පුපුරා මා කඩා හැලෙනු ඇත. ඒ මා තවමත් ඔහුට පෙම් කරන බැවිනි. ඒ තරමට මම ඔහුට වයිරද කරමි. මට දැන් මේ ජීවිතයෙන් වැඩක් නැත. මා මිය යා යුතුය. දිවි තොර කර ගත යුතුය. නිදි පෙති බී, ළිදට පැන, හෝ ගෙල වැල ලා මිය යා යුතුය. එය ඔහුට වදින මරු පහරක් වනු ඇත. එහෙම බැලූ කල මා මිය යන්නේ මට මගේ ජීවිතය එපා නිසාම නොව, ඔහුගෙන් පළි ගැනීමටය. ඔව්. එය ඔහුගෙන් පළිගන්නා හොදම ක්‍රමයයි. ඔහු මුළු ජීවිතයම තැවෙමින් විදවනවා ඇත.

සිය දිවි නසා ගැනීමට ක්‍රමයක් දැන් කල්පනා කළ යුතුය. මිය යාමද ලේසි නැත. කොහොම වුණත් වතුර පෙවී, හුස්ම හිර වී මිය යාමට වඩා නිදි පෙති බී මිය යාම හොදය....

දැන් නිදි පෙති මගේ අතේය. මරණයත් මාත් අතර ඇත්තේ තත්පර කිහිපයක දුරකි.මරණයෙන් මතු මිනිසුන් යන්නේ කොහේදැයි ඊට පෙර සොයා බලන්නටද බැරි විය. කිතුණු දහමේ මෙන් ස්වර්ගයට යනවාද? බුදු දහමේ මෙන් පුනර්භවය ලබනවාද? පුනර්භවය කියා ඔනෑ තැනක උපදින්නට නම් බැරිය. කැරපොත්තෙකු වුවොත් ඉදල වැඩක් නැත. මේ ක්ෂීර පථයෙන් එපිට චක්‍රාවාට වලද ජීවය  පවතිනවා ඇත. උන් හුස්ම ගන්නේ විෂ වායුද දන්නේ නැත. ඒ වගේ එකක ඉපදුණොත් ලොවෙත් නැත..!

එහෙත් උපදින්නට පෙර මිය යා යුතුය. තත්පරෙන් තත්පරය ගෙවෙයි. මගේ හිස කැරකෙන්නාක් මෙන් දැනේ.. මට ඒ දවස් සිහි වෙයි.. ඔහු හා අත්වැල් බැද මාවතේ ඇවිද ගිය සැටි සිහිවිය. ඒ කී කතා දැන් නැත. ඒ කතා කී ඔහුද නැත. මට පෙම් කළ ඔහුගේ සිත නැත. ටී ෂර්ටයකින් හා ඩෙනිමකින් සැරසුණ නිතර සැහැල්ලුවෙන් සිනාසෙන ඒ හීන්දෑරි කොළුවාද අද නැත. අද ඉන්නේ අමුතු එකෙකි. ඉතින් මා ආදරේ කළේ ඒ කොළුවාට නෙවද?... ඔහුගේ සිතත් ගතත් අද නැත්නම් මා මිය යන්නේ අහවල් මළදානයක් වෙනුවෙන්ද?....


 මිනිස් සිත නම් වෙනස් වන්නේමය. මිලි-මයික්‍රො-නැනෝ තතපරයක් ගානේ එය වෙනස් වෙයි. කයද වෙනස් වෙයි. තත්පරයක් ගානේ සිරුරේ සයිල මිය යයි. අළුත් සයිල උපදියි. අපි දෙදෙනා බැන්දත් නැතත් අපේ සිරුරු මිය යයි. තව අවුරුදු 40ක් ගිය තැන කවුරුත් අප දෙස බලන්නේවත් නැත....

මා හා හෝ ඇය හා හෝ ඔහු පිවිසෙන්නේ ජීවන අරගලයකටය. යම් දිනෙක මරණය ඇවිත් ඔහුව ඒ සටනින් පරාද වී ඔහු මිය යයි. මිය ගිහින් ආයෙත් ඉපදුන විට ඔහුට මා මතක නැත. මේ ආත්මයේ ඔහුගේ ප්‍රිය බිරිය වූවද පරම හැතිරිය වූවද මිය ගිය පසු අප එකිනෙකා නාදුනයි. එතකොට ඇත්තේ වෙන කයකි. එතකොට මා පෙම් කළේ ඔහුගේ කයටද? සිත්ටද? ක්ෂණයක් පාසා වෙනස් වන චපල සිතටද? සබන්, ෂැම්පූ හෝ ටූත්පේස්ට් නැතිව එක දවසක් හෝ තබා ගත නොහැකි කයටද?

කිසි දෙයක තේරුමක් නැති සෙයකි. පෙර ආත්ම වලද ඔහු මගේ ප්‍රිය සැමියා වන්නට ඇත. සමහර ආත්ම වල ඔහු බිරිද වී මම සැමියා වන්නට ඇත. මෙම චක්‍රය දිගටම යනු ඇත. දැන් මා මිය යන්නේ ඔහුට රිද්දන්නටය. ඇය හා ඉරිසියාවෙන්ය. එහෙත් ඔහුද ඇයද මරණයෙන් මිදී නැත. දිනෙක ඇයද මැහැල්ලක වනු ඇත. ඔහුද මහල්ලෙක් වනු ඇත. ජීවත් වුණොත් මමත් මැහැල්ලක වනු ඇත. එවිට අපේ ආදරය හීනයක් පමණක් වනු ඇත. එහෙනම් මම නිදිපෙති බොන්නේ කෙහෙල්මලටද?

කාලය ගතවෙයි. තරුණ විය ගෙවී ගොස් කය මහළු වෙයි. සන්සාර චක්‍රය කැරකෙයි. දිවි නසා ගත්තත් නැතත් මරණය පැමිණෙයි...



මන්ගල කාඩ් එක තාම මේසය උඩය. මුදල් ගොඩක් වැය කර කරන මේ මන්ගල්ලයද දිනෙක ඔවුන්ට මතකයක් විතරක් වනු ඇත. විවාහය නම් වූ අරගලයට පිවිසි ඔවුන් දිනෙක මහළු වී මරණයට පත් වේවි. ඒ කාලය හා බැලූ විට මන්ගල උත්සවයක් යනු පැය කිහිපයකි. ඒ වෙනුවෙන් මම නිදි පෙති බී මිය යාම තකතිරු වැඩකි....එහෙනම්....


"බට්ටි තේ හදනවා බොනවද?" පුන්චම්මා කුස්සියේ සිට කෑ ගසයි. "ආ ඔව්. මට ප්ලේන්ටි". ඉලව් නිදි පෙති බෝතලය බෙහෙත් පෙට්ටියට විසිකර මම කෑ ගසා කියමි....

































Saturday, January 5, 2013

අපේ රටේ ලින්ගික පීඩනයට හේතුව කුමක්ද...(ගැහැණු ඇසකින්..)

 




ඒ ශරත් සමයෙහි බර්ලින් නුවරයි...මැදියම් රාත්‍රියද පහුවෙලා කෙල්ලන් රන්චුවක් පාර දිගේ නටමින් ගී කියමින් යනවා...ඔවුන් සමරන්නෙ පාසලේ ශරත් නිවාඩුවේ ආරම්භයයි..ඉද හිට අවන්හලේ සිට නිවෙස් බලා යන තරුණයන් රැළක් ඔවුන්ට යමක් කියා සිනාසෙනවා..තරුණියන් ඔවුන්ට පෙරළා විහිළුවක් කර ආයෙමත් ගී ගයනවා...

ඒ අතර ලෝකයේ වෙනත් කෙළවරක...

ඒ දෙසැම්බර් මස අදුරු රාත්‍රියක නව දිල්ලි නගරයයි. ගීර්පූර් බලා ඇදෙන බස් රථයක වයස 23ක් පමණ වූ තරුණියක් සිටියි. එම බස් රථයේම සිය මාරයාද සැගවී සිටින බව ඈ දන්නේ නෑ..පැයක් පමණ පුරාවට ඈ වටේ ඉව අල්ලමින් සිටි ම්ලේච්ඡ්යන් සය දෙනෙකු ඇය අමානුෂික අන්දමින් අතවරයට ලක් කර බසයෙන් ඉවතට විසි කර දමනවා..

මේ සිද්ධීන් දෙකම සිදුවන්නෙ එකම ලෝකෙක. මේ දෙකම වුණේ අපේ රටේ නෙවෙයි. හැබැයි මේ දෙකෙන් අපේ රටේ සිද්ද වෙන්න වැඩි ප්‍රවණතාවයක් තියෙන්නෙ කොයි සිදුවීමද කියලා හිතුවොත්? අපේ සමාජයේ මේ වෙනකොටත් වාර්ථා වෙලා තියන කාම අපරාධ ගණන ගැන බැළුවොත්, ඉහත කියපු දෙවැනි සිදුවීම සිද්ධ වෙන්න තියන සම්භාවිතාවය නම් ඉහළයි..ඒත් ඇයි?? ඇයි කියල තමයි මේ කථා කරන්න යන්නෙ..


අපි අපේ රටේ සන්ස්කෘතිය ගැන බොහොම ආඩම්බරයි. ඒ අනුව සමාජයේ කිරීමට සම්මත හා අසම්මත දේවල් වගේම ප්‍රසිද්ධියේ කතා කිරීමට සම්මත හා අසම්මත දේවල් තියනවා. ලින්ගිකත්වය කියන්නෙ එපේ සන්ස්කෘතියට අනුව අපි වැඩිය ප්‍රසිද්ධියේ කතා නොකරන දෙයක්. ප්‍රශ්නේ කියන්නේ අනිත් මිනිස්සුන්ට වගේම අපිටත් එය මූලික අවශ්යතාවයක් වුණු එකයි. මූලික අවශ්යතාවයක් වෙච්ච දෙයකට තහන්චි පැනෙව්වම ඇතිවෙන්නෙ පීඩනයක් මිසක් වෙන මොකක්ද? ඊ ළගට ඒ පීඩනය එළියට පනින්නෙ සමාජයටම මහා විනාශයක් කරගෙන. දිනෙන් දින වැඩි වෙන ලින්ගික අපරාධ, ළමා අපචාර, පැහැර ගැනීම්, ගබ්සා කිරීම් විතරක් නෙවෙයි දෙදරා යන පවුල් ජීවිත පවා මීට සාක්ෂියි. අනික්වා කෙසේ වුණත් ලින්ගික අපරාධ ගණන අතින් නම් "සදාචාර සම්පන්නයි" කියන අපේ රට ඉන්නේ ගොඩක් රට වල් වලට වඩා ඉදිරියෙන්. ඇයි??

 

 "බටහිර රටවල ළමයි වයස 15 - 16 වෙද්දි සියළු දේ අත්දැකලා ඉවරයි. ඒ නිසා ඔවුන්ට ලින්ගිකත්වය කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි" ..ඒ එක්කම "ඉස්ලාම් රටවල් වල තියන නීතිමය තහන්චි වල හැටියට සහ කාන්තාවට තියන සීමාවල් එක්ක එබදු අපරාධ වලට ඉඩක් නැහැ" කියලා ඔබට කියන්න පුළුවන්. කතාවනම් ඇත්ත. නමුත් ඔය අන්ත දෙකටම අපිට යන්න බැහැ. අපි ඔය සන්ස්කෘති දෙක මැද ඉන්න සමාජයක්. අපි දියුණු වෙමින් පවතින රටක්. ඒත් අපි දියුණු වෙන්න ඕනෙ අපේ සාරධර්මත් එක්කයි. ලින්ගික අපරාධ වලට විසදුමක්ය කියලා අපිට බටහිර සන්ස්කෘතිය වැළද ගන්න බෑ. ඒ එක්කම අපිට අරෙහෙම පොරවා ගෙන ඇස් දෙක විතරක් ඇරගෙන ඉන්නත් බැහැ. එහෙනම්..??

 


 "ගණිකා වෘත්තිය නීතිගත කිරීම තමා විසදුම" කියලා උගත් මහත්මයෙක් ලගදී ප්‍රකාශයක් කරලා තිබුණා. ඒකට හොදවයෙන් ප්‍රතිචාරත් ලැබුණා. ඒ වගේ පැලැස්තර විසදුම් වලින් වෙන්නේ ඊට වැඩිය ලොකු විනාශයක් කියලා මොළේ ටිකක් හරි තිබ්බනම් තේරෙනවා. ඒකෙන් හොදට තියන පවුල් කැඩේවි, පාසල් ළමුන් එය අත් හදා බලන්න යාවි, ගැහැණු දැරිවියන්ගේ ජීවිත ගනනාවක් අදුරු වේවි.

එහෙනම් මොකක්ද ඔබ යෝජනා කරන විසදුම..?

අපේ දරුවන්ට පාසල් වියේදීම හොද ලින්ගික දැනුමක් ලබාදීම මිසක් වෙන යමක් නෙවෙයි. අපේ රටේ ලින්ගිකත්ව කියන්නෙ පොතේ හැටියට විවාහයට සීමා වූ දෙයක්. එයි පරිබාහිර ලින්ගික හැසිරීම් "අසම්මත දෙයක්" විදියටයි සැලකෙන්නෙ. ඒත් ලින්ගිකත්වය කියන්නෙ තරුණ වයසෙදිම මිනිසාට ඇතිවන ජීව විද්යාත්මක අවශ්යතාවයක්. එහෙම නැති කෙනා සාමාන්ය කෙනෙක් නෙවෙයි. එබදු වූ සාමාන්ය අවශ්යතාවයකට වැට කඩුළු දමලා තියනවා විතරක් නෙවෙයි එය කතා කිරීමට තහනම් මාතෘකාවක් බවට පත් කරලයි තියෙන්නෙ. නොසන්සිදුන ලින්ගික අවශ්යතාවයට තහන්චි දැමීමෙන් අනවශ්ය කුතුහලයකුත් ඇතිවෙනවා. එහෙම තහනම් කළාට ළමයි විවිධ ආකාරයෙන් එම "දැනුම" සොයා ගෙන යනවා. භයානක දේ තමයි එම "දැනුම" ලබා ගන්න මාද්ය වලින් ඔවුන් වැරදි දේවල් ඉගෙන ගන්න එක. කුතුහලය නිසා ඔවුන් එය අත්හදා බලන්න යාමෙන් ලමයි ජීවිත පවා අදුරු කර ගන්නවා. දෙයක් වහලා තියන කොට ඒකෙ අගය වැඩි වෙනවා. එතකොට තව හාරවුස්සන්නමයි හිතෙන්නෙ. මෙම අනවශ්ය කුතුහලය නැති කරන්න නම් පාසල් වියේ ලබාදෙන දැනුම ඉතාම වැදගත් වේවි. ලින්ගික දැනුම සදහා අපට ඇති අවශ්යතාවය කොයිතරම්ද කියන එක කියන්න ඕන නැහැනෙ. ඒ ගැන ගූගල් පඩිතුමාගෙන් අපි කොච්චර අහනවද කියලා එතුමාම ලෝකයට කියල තිබුණනෙ..:D

 

සන්ගනණයක් කරලා බැළුවොත් පෙනේවි ලින්ගික අපරාධ වැඩියම සිද්ධ වෙන්නෙ ඉගෙනුම් මට්ටම අඩු කොටස් අතින් කියලා. නොසන්සිදුන ආශාවල්වලට නූගත් කමත් එකතු වුනාම වෙන විනාශය තමයි ඒ. එම නිසා නව යොවුන් වියේදිම පාසල් ළමයින්ගෙ විශය නිර්දේශයට මෙම දැනුම යම් තරමින් හෝ ඇතුළත් කිරීම හැර වෙන විසදුමක් නෑ.

ඉස්සර අපේ විෂය නිර්දේශයෙ ප්‍රජනක පද්ධතිය ගැන පිටු 4-5ක් විතර තිබුණා. ඒක ඉගෙන ගන්න ළමයි සැදී පැහැදී ඉන්නෙ. හැබැයි ටීචර්ලා ඒකවත් හරියට කියා දෙන්නෙ නෑ ලැජ්ජයි. පුදුමෙ කියන්නෙ ඒ බොහොමයක් ගුරුතුමීල විවාහ වුණු අය :P  ඵ් එක්කෝ "හිපොක්‍රසි" කියන එක. එහෙම නැත්තම් ඒ ටීචර්ලගෙ සැමියන් ගැන මට දුකයි.:D තමන් කරන වැඩේ භයානක කම ඔවුන් ඇත්තටම දන්නෙ නෑ. ළමයෙක් වැඩෙන්න ශාරීරික සුවතාවය වගේම ඒ ළමයව හොද පුරවැසියෙක් කරන්න මානසික සුවතාවයද අවෂ්යයි. අපේ රටේ තියන තරගකාරී රටාව නිස අපේ දරුවො කොහොමටත් ඉන්නේ පීඩනයෙන්. ඒ පීඩනයට තවත් පීඩනයක් එකතු වෙනවා විතරයි. තව වසර 10කින් අපේ රට මොන වගේ වෙයිද කියල මවා ගන්න උත්සාහ කරන්න. ඒ කාලය වන විට බටහිර සන්ස්කෘතියෙන් එන බලපෑම් මීටත් වඩා වැඩි වෙයි. එදාට අපි "අතරමන්" නොවූ ජාතියක් ගන්න නම් අද මේ පියවර ගන්නම වෙනවා.

"ඔය මොන ලින්ගික අද්යාපනයක්වත් නැතුව අපේ රට හොදට තිබ්බ කාලයක් තිබුණා" කියල කෙනෙක්ට කියන්න පුළුවන්. ඇත්ත. මැණිකක් ගත්ත ලස්සන තරුණියකට දෙවුන්දර තුඩුවෙ ඉදන් පේදුරුතුඩුවට තනියම ආපදාවක් නැතිව යන්න පුළුවන් කම තිබ්බලුනෙ. ඒත් දැන් 70 පැනපු ආච්චි කෙනෙකුට පේදුරුතුඩුවෙ නෙවෙයි, තමන්ගෙ ගේ ඇතුළේ බයක් නැතිව ඉන්න පුළුවන්ද? ඉස්සර වගේ නෙවෙයි, තරගකාරීත්වයෙන් පිරුණු ජීවන අරගලයෙන් වගේම ගෝලීයකරණයෙන් අපේ රට ඔද්දල් වෙලයි තියෙන්නෙ. ඒ හානිය වෙලා ඉවරයි. ඒ නිසා අතීතය ගැන තැවෙනවා වෙනුවට විසදුමක් හොයා ගනිමු. ඒක ගණිකා වෘත්තිය නීතිගත කිරීම හෝ කාන්තා විලාසිතා තහනම් කිරීම වගේ පැලැස්තර විසදුමක් නෙවෙයි, පාසල් පද්ධතිය තුළින් එන විධිමත් විසදුමක් විය යුතුයි.

ජාතියේ දරුවන්ට ඇති ආදරය නිසා අන්තර්ජාලයේ තිබූ ටියුබ් ගනනාවක්ම තහනම් කළ ආඩම්බරකාර තාත්තලාට මෙබදු දෙයක් කිරීමටද මොළය පෑදේවායි පතමු.

ඒ එක්කම ඔබේ අදහස මෙහි දක්වා යාමටත් අමතක කරන්න එපා. :)

Monday, December 10, 2012

"Needy Readers"...පොත් ඇවැසි පාඨකයන් හට...



තාරුණ්යය චමත්කාරජනක වන්නේ ආදරය නිසාය. යොවුන් හදවතක උපදින ආදරය නිසා මුළු ලෝකයම සුන්දර වන බැව් නොරහසකි. ඒ ආදරය ගැන අතීතයේ සිට දහසක් ගී පද වැල් පබැදුනද, ඒටත්  වඩා සුන්දර වූ වෙනත් අයුරක ආදරයක් ගැනය, මේ කියන්නට යන්නේ. ඒ වූ කලී, යොවුන් හදවතක, සිය සහර්ද මානවයන් කෙරේ ඇතිවන දයාව මුසු වූ ආදරයයි. හඩා වැටෙන ලෝකයෙහි කදුළු වල බර දැනෙන්නට තරම් සන්වේදී වූ තරුණ හදක උපදින සහකම්පනය මුසුවූ ආදරයයි. එබදු වූ පරාර්ථකාමී ආදරයකට ලෝකයම ජීවත් කළ හැක.

කෙළිලොල් පාසල් විය නිමා කර, සරසවියට පා තබා ගෙවූ වසර කීපය තුළ මුහුකුරා ගිය අපේ සිත් වලට දැනුණේද ඊට සමාන වූ හැගීමකි. පුරා වසර කීපයක ඇවෑමෙන් සරසවි බිමට සමුදී සමාජයට පය තබන්නට සැරසෙන කාලය තුළ, මානව සන්හතිය වෙනුවෙන් අප විසින් ඉටු කළ යුතු වූ වගකීමෙහි හා යුතුකමෙහි බර දැනෙන්නට විය. මිනිස් ජීවිතයේ වසන්තය බදු වූ යවුවනය පරිපූර්ණත්වයට පත් වන්නේද එයින් බව වැටහුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, ‘මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි’ යන සන්කල්පය මුල්කරගෙන එකතු වූ අප එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගත්තෙමු. සමාජය වෙනුවෙන් අපේ යුතුකම් ඉටු කිරීමට සන්විධානය වීමට ඉටා ගතිමු. අන්තර්ජාතික සමාජ සන්වර්ධන සන්විධානය බිහි වූයේ එලෙසය.
සන්විධානයෙහි පලමු අදියර ලෙස අප තෝරා ගත්තේ අඩු පුස්තකාල පහසුකම් ඇති පාසල් වලට පොත් බෙදා දීමේ ව්යාපෘතියකි. “නීඩි රීඩර්ස්” (“පොත් ඇවැසි පාඨකයන් හට”) යනුවෙන් නම් කළ එම ව්යාපෘතියේ අරමුණ වූයේ, කියවීමේ පිපාසයෙන් පෙළෙන එහෙත් පොත් පත් හිග කමින් පෙළෙන් පාඨක දරුවන්ට අවශ්ය සම්පත් සපයා දීමය. ඒ අනුව කරන ලද සමීක්ෂණයකින් ඉතා අඩු පුස්තකාල පහසුකම් සහිත පාසල් කිහිපයක් තෝරා ගැණුනි. එම පාසල් වල විදුහල්පතිවරු ඇතුළු ගුරු මඩුල්ලෙන් අපට ඊට සහයෝගය ලැබුණි. ලද අවසරයෙන් සිසු දරුවන්ගේ අදහස්ද ලබා ගත්තෙමු. ඔවුන්ගේ දෙනෙත් වල දැල්වෙන බලාපොරොත්තුව දුටු විට අපේ අදිටන තවත් තර විය. පුස්තකාලයේ රාක්ක වල තවත් ඉඩ ඇත. ඒ දුටු මට ළමා කාලයේ මගේ සිහින ලෝකය වර්ණවත් කළ ටොම් සෝයර් හා ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ද, ගැටවර වියේදී මානව වේදනාව කියාදුන් බෙන්ගාලි කත්න්දරවල සිටි අපූර්වද, මගේ ලෝකයේ වීරයා බවට පත් වූ රුසියානු විප්ලව නායක පාවෙල්ද සිහිපත් විය. මගේ පෞරුෂය හා ආකල්ප ගොඩ නැන්වීමට ගුරුවරු මෙන්ම මා කියවූ පොත් පත්වල දායකත්වයද අති මහත්ය. වාසනාවකට ඊට ඇවැසි සම්පත් අපට තිබුණි. එපරිද්දෙන්ම, පුන්චි තක්සලාවේ හිද ලොකු හීන දකින පුන්චි වුන්ගේ ලෝකයද දැනුමෙන් පිරවීමට අපි ඉටා ගත්තෙමු. 

ඒ අතර තුරේදී අපට දැනගන්නට ලැබුනේ පසුගිය දිනවල ඇති වූ ගින්නකින් මැගසින් බන්ධනාගාරයේ පුස්තකාලයෙහි පොත් විශාල ප්‍රමාණයක් විනාශ වූ බවය. කියවීම සැබවින්ම මිනිසා සම්පූර්ණ කරයි. සම්පූර්ණත්වය කෙසේ වෙතත්, ජීවිත කථාවේ කිසියම් තැනක වූ වරදකින් අසම්පූර්ණත්වයට පත් බන්ධ නාගාර රැදවියන්ගේ ජීවිතයට කිසියම් අස්වැසිල්ලක් ගෙන දීම උදෙසා පුස්තකාලය නැවත පොත් වලින් පිරවීමට පොරොන්දු වුණෙමු. එනයින්, පාසල් වලට සීමා වූ අපගේ පොත් පරිත්යාග කිරීමේ වැඩ පිළිවෙල තවත් පුළුල් විය. පොත් 1500ක් එකතු කිරීම ආරම්භයේදී අපේ අරමුණ විය. එතැන් සිට ක්‍රියාත්මක වූ අප විසින් පිළියෙළ කෙරුණු දැන්වීම් මගින් අපගේ ව්යාපෘතිය පිළිබද පණිවුඩය සයිබර් අවකාශය හරහා මුදා හැරුණි. කෙතරම් හොද ක්‍රියාවක් වුවද මෙහි සාර්ථකත්වය රදා පවතිනුයේ අපට සමාජයෙන් ලැබෙන සහයෝගය අනුවය. එහෙත් ආත්මාර්ථයම මුල් කරගෙන වේගයෙන් කැරකෙන වත්මන් ලෝකය අපේ ඉල්ලීමට කන් දේවිද, ගෙන්දගම් පොළවට ළගදී පය ගැසූ නාදුනන්නන් වන අපගේ හැගීම  සමාජය හදුනා ගනීවිද යන සැකයද පටන් ගැන්මේදී හිතේ කොනක නොතිබුණාම නොවේ.

එහෙත්, ලොවේ අප හිතුවාට වඩා සුන්දර හදවත් ඇත්තන් බොහොමයක් ඇති බව අවබෝධ වන්නට වැඩි කලක් ගියේ නැත. දිනෙන් දින අන්තර්ජාලය හරහා ලැබුණු යහපත් ප්‍රතිචාර ඊට සාක්ෂිය. දිවයිනේ විවිධ ප්‍රදේද වලින් පරිත්යාග කරන්නන් ඉදිරිපත් විය. එසේම ඉතා කෙටි කාලයක් තුළ අපේ කණ්ඩායමට තවත් සොහොයුරු සොහොයුරියන් රැසක් එක්විය. ඔවුන්ගේ උනන්දුව අපව පුදුම කරවන සුළු විය. දිරිමත් වූ අපි සිරිලක පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන M.ඪ් ගුණසේන සමාගම, ස්. ගොඩගේ, සහ සරසවි පොත් සමාගම් හමුවූයේ අපගේ සමාජ මෙහෙවරට ගැන දැන්වීමටය. දැනුම බෙදා ගැනීමේ අපේ සත් කාර්යය ඉතා ඉහලින් අගය කළ එම සමාගම් වල විධායක මදුල්ල අපට උපරිම සහයෝගය දැක්වීය. නොබෝ දිනකින්ම, මුලදී 1500 වූ සීමාව සති කිහිපයක් ඇතුලත පොත් 5000 අභිබවා ගියේය. එසේම සැප්තැම්බර් මාසයේ බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශන භූමියටද මෙම පණිවුඩය රැගෙන ගිය අපට එහිදී හමුවූ පරිත්යාගශීලී පාඨකයෝ ප්‍රදර්ශන කුටි වලින් අළුත්ම පොත් මිලදී ගෙන දීමට තරම් කාරුණික වූහ. පොත් සන්ඛ්යාව 10,000 ඉක්මවූයේ බලා සිටියදීය. එකතු වූ අළුත් පොත් වල සුවදවත් පිටු අතරින් පාසලේ පුන්චි වුන්ගේ බලාපොරොත්තු සහගත දෑස් අපට මැවී පෙණුනි. විනාශ වූ පුස්තකාලයේ ගිනි තැබූ අකුරු වෙනුවට අළුත් පොත් වල අකුරු තුළින් ජීවිතයේ පශ්තත්තාපය සන්සිදගැනීමට බලා සිටින මැගසින් බන්ධනාගාරයේ රැදවියන්ගේ මුහුණු සිහිවිය.

පොත් එකතු කිරීමට මාස ගණනක් තිස්සේ දැරූ මහන්සිය මල්ඵල ගැන්වීම ඇරඹුනේ විශ්ව ළමා දිනයෙනි. ඒ, රාජගිරිය සිරිහද විද්යාලයේ පැවැත්වූ ළමා දින සැමරුම් උළෙළෙහිදී ප්‍රාථමික අන්ශයේ දරුවන්ට පොත් බෙදා දීමෙනි. එසේම ප්‍රාථමික පන්ති වල දරුවන් වෙනුවෙන් පැවැත්වූ චිත්‍ර තරගයකින් හොදම චිත්‍ර තෝරා ත්යාග වශයෙන් පොත් පිරිනැමුණි. ළමා දින උත්සවය ළමයින් තම සිහින ලෝක වලින් ගෙනා වර්ණයන්ගෙන් සිත්තම් විය. පුන්චි සිත්තරුන් වේදිකාවට නැග තාය ලබා ගත්තේ අපේ දෙපා අල්ලා වැදීමෙන් පසුවය. ඔවුන්ට අපව ලොකුවට පෙනෙන්නට ඇති මුත්, ඔවුන්ගේ එම ක්‍රියාව, තවමත් වැඩිහිටියන් නොවූ අපගේ හදවතේ පත්ලම ස්පර්ෂ කලේ දෙනෙතට කදුලක්ද නන්වමිනි.

දැනුම බෙදීමේ මෙහෙයුමෙහි ඊළග අදියර වූයේ හන්වැල්ල සිරි සුමන ජෝති විද්යාලයේ අප විසින්ම සන්විධානය කරන ලද පොත් ප්‍රදානෝත්සවයයි.එම උත්සවය සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව  අපේ හිතට දැනුන සතුට සහ සන්සිදීම වචන වලට හැරවීම නම් අපහසුය. මුදිතා ගුණය යනුවෙන් බුදු දහමේ හදුන්වන්නේ අන්යයන්ගේ සතුට දැක සතුටු වීමනම්, එවන් වූ ප්‍රීතියක් ඇති වන්නේ එකී මුදිතා ගුණය මුල් කර ගෙනමය. 
එසේම මෙමෙ මහගු කාර්යභාරය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය වූ සැමටම, යටත් පිරිසෙයින් එක් පොතක් හෝ පරිත්යාග කළ පාඨකයාගේ සිට, මූලයමය හා ද්‍රව්යමය අනුග්‍රහය දැක්වූ සියළුම අනුග්‍රාහක සමාගම් වලට, අපගේ පණිවුඩය සමාජයට දීමට උදව් වූ රූපවාහිනී නාලිකා හා පුවත්පත් වලට අපගේ නොමද ස්තූතිය පිරිනැමේ. එම සහයෝගය නොවන්නට, සිසුන් කිහිප දෙනෙකුගෙන් ඇරඹුණු කුඩා ප්‍රයත්නය මෙතරම් කෙටි කාලයකදී මෙවන් මහා පරිමාණයේ පොත් පරිත්යාගයක් බවට නොපෙරළෙනු ඇත. දැනට ඇති සම්පත් වලින් අපට තවත් සුවහසක් පාඨකයන්ගේ දැනුම පිපාසය සන්සිදවීමට අවස්ථාව ලැබී ඇත.
                       එසේම අපගේ මෙහෙවර සාර්ථකව නිමා කිරීම නිස ඇතිවූ ප්‍රීතිය නිස දැන් සිතේ ජනිත වී ඇත්තේ අසීමිත වූ ශක්තියකි. සහර්ද මානවයන් කෙරේ වූ අසීමත් වූ දයාවකි. තවත් මෙවැනි සමාජ සත්කාරයන් තව තවත් ඉටු කිරීමට දැඩි වූ කැමැත්තකි.ඊට අවසරයක් ලැබෙන තුරු අපි බලා සිටිමු.