
මේක ඉතින් වෙන කාටවත් නෙවෙයි මටම වෙච්ච ඇබැද්දියක්. එකපාරක් මගේ යාළු කොල්ලෙක් ඒකගෙ වෙඩින් එකට මට ආරාධනා කරලා තිබුණා. එතකොට අපි 3rd ඉයර් එකේද කොහෙද. බොරු කියන්නෙ මොකටද ඒ කාලෙ මම සාරි අදින්න දන්නෙ නෑ. වෙඩින් එකකට යනවනම් පාටි ඩ්‍රෙස් එකක් හරි ෂල්වාර් කමීස් හරි තමා ලේසියට අදින්නෙ. සාරි නොඇදම බැරි එකක් නම් ඉතින් කාට හරි කියල අන්ද ගන්නවා. අනිත් එක මට දවසම හරි වරුවක් හරි ඔය යාර හයක් පටල ගෙන ඉන්නව කියන එක ඒ දවස් වල හිතා ගන්න බැරි දෙයක්. ඉතින් සාරියත් එක්ක මගෙ තිබ්බෙ බොහොම දුරස්ථ සම්බන්ධයක්. ඒකයි ලේසියට අර වගෙ එකක් ඇදන් ගිහින් ෂේප් වෙන්නෙ. ඒක මගෙ යාළුවොත් දන්නවා.
වැඩේ කියන්නෙ මේ කොල්ලා එක්ක එහෙම බෑ. වෙඩින් එකට ඉන්වයිට් කරන ගමන් මූ කියපි "උඹ මගෙ වෙඩින් එකට සාරියක් ඇදන් වරෙන් තේරුණාද? නයි නළගන වගේ සර්වාරිද වල්සාරිද මොනාද ඇදන් ඇවිල්ල තිබ්බොත් බලාගෙනයි!" කියලා. එහෙම තර්ජනය කරාම ඉතින් තවත් කොහෙද. මොනව කරන්නද ඉතින් ඒ පාර සති ගානක් තියා සාරි හැට්ට මහන්න ඕඩර් දීල, මිමි අරගෙන, ඩිසයින් හොයාගෙන, බ්ලොක් හදාගෙන, මස්සවලා, ෆිට් ඔන් කරලා, ආයෙ ලොකු කරලා පුන්චි කරලා හදා ගත්තා. හයියූ...සාරිය වූකලී එබදු වූ දුක් ගැහැට රැසකි. අනික් ඇදුම් වගෙ කලින් දවසෙ රෑට ලෑස්ති කරන්නයැ ඉතින්.
වෙඩින් එක තිබ්බෙ සතියෙ දවසක. උදේ ලෙක්චර්ස් නම් කට් කරන්න පුළුවන්. ඒත් බ්‍රහස්පතින්දා හවස 3ට තියන ලෙක්චර් එක කට් කරන්නම බැරි එකක්. ඒ හින්දා මම වෙඩින් එකට "හාෆ් ඩේ" යන්න හිතාගන ඇදුනුත් අරගෙනම ආවා. "හාෆ් ඩේ" කිව්වට මනාල යුවළ පිටත් වෙන්න පැයකට කලින් ගියාම මට ඇති.
මොනා වුනත් අපරාදෙ කියන්න බෑ සාරියට හොද කමෙන්ට්ස් ටිකක් නම් හම්බ උණා ;) වෙච්ච මහන්සිය ගොඩක්ම අපතෙ ගිහිල්ලම නෑ වගෙ. සමහරු මම සාරි ඇදන් ඉන්නව දැකල උඩ ගිහිල්ලා. අද වහීද කියලා කුඩ හොයනවා!
ලෙක්චර් එකට යන්න වෙලාව ඇති කියලා හිතුවට හැමෝටම බායි කියලා, ෆොටෝස් සීයකට විතර මූණ දාලා, මනාල යුවලට සුබ පතලා, කලින් යන එකට යාළුවගෙන් බැණුනුත් අහලා යන්න ලෑස්ති වෙනකොට හිතුවට වඩා පරක්කු වෙලා. ඇයි දෙයියනේ මම ඇදුම් මාරු කර ගන්නත් එපාය. දැන් ඉතින් බස් එකේ යන්න වෙලා නෑ. ට්‍රයිෂෝ එකකවත් යනවා කැම්පස් එකට. තවත් අදුරන කවුරු හරි සෙට් වෙන්න කලින් මම හෝල් එකෙන් එළියට පැන ගතෙතෙ පරක්කු වෙන නිසාමයි. හෝල් එකට එනකොට මම මගෙ පොත් දාපු බෑග් එකයි ඇදුම් දාපු බෑග් එකයි රිසෙප්ෂන් එකේ තියලා ආවෙ. ඇදුම් බෑග් එක විතරක් අරගෙන මම ලේඩීස් වොෂ් රූම් එක ගියේ අනික් බෑග් එක එන ගමන් ගන්නම් කියල රිසෙප්ෂන් එකේ ගර්ල්ට කියලයි.
වොෂ් රූම් එකට පැනගත්ත ගමන් මම කලේ අර ඔතාගෙන හිටපු යාර හයෙන් නිදහස් වෙන්න හිතාගෙන සාරිය ගලවල දාන එකයි. ඇයි වදේ කවද කාපු ටකරන්ද? සාරිය නවලා දාගෙන මම මාරු කරන ඇදුම හොයන්න ගත්තා. එතකොට තමා කෑ ගැස්සුනේ....හත්වලාමේ! කෝ මගෙ ඩෙනිම? මම උදේ දා ගත්තා හොදට මතකයි. ඒත් මම දාගෙන තියෙන්නෙ ටී ෂර්ට් එක විතරද? බෑග් එක අනිත් පැත්ත ගැහුවා. ඩෙනිම නෑ..! දැන් සාරියත් ගලවලා..සාරිය ආපහු අදින්න දන්නෙත් නෑ.*&*(^&$#%#

දැන් ඉතින් කාපන්කො ටින් කිරි! ඒත් මට මතකයි මම ඩෙනිම බෑග් එකට දා ගන්නවා.....
හරි..ෂුවර් එකටම මම ඩෙනිම දා ගන්න ඇත්තෙ පොත් බෑග් එකට. පොත් බෑග් එක කෝ ඉතින්? රිසෙප්ෂන් එකේ. #$#%$^%&!@
මම ගත්ත ෆෝන් එක, යළුවෙක්ට කෝල් කරලා රිසෙප්ෂන් එකෙන් බෑග් එක ගෙන්න ගන්න. ෆෝන් එක ගන්නෙ නෑ. තව එකෙක්ට ගත්තා. ඒත් ගන්නෙ නෑ. යාළුවෝ සෙට් එකටම ගත්තත් එකෙක් නෙවෙයි ආන්සර් කරන්නෙ. @#$#$%%
හැබැයි ඉතින් අපෙ උන් වාඩි වෙලා හිටියෙ ඩී. ජේ ගෙ කණ අස්සෙ තිබිච්ච ටේබල් එකේ. ඒ කරච්චලේට ෆෝන් රින්ග් වෙනව තියා හෙණ ගැහුවත් ඇහෙයිද?
දැන් මොකෝ කරන්නෙ? ඊළගට වොෂ් රූම් එකට කවුරු හරි එනකම් ඉදලා රිසෙප්ෂන් එකෙන් බෑග් එක ගේන්න කියනවා. ඒත් කාගෙවත් බෑග් එකක් එහෙම කාටවත් දෙයිද? කමක් නෑ ට්‍රයි කරනවා කියලා විනාඩි දෙකක් විතර හිටියා. එකෙක්වත් ආවෙ නෑ වොෂ් රූම් එකට. මේ වෙලාවෙ හැටියට විනාඩි දෙක අවුරුද්දක් වගෙ දැණුනෙ. මෙතන වෙන අවශ්යතාවයකට ආවනම් පෝලිමක ඉදලයි යන්න වෙන්නෙ. ඕනෙ වෙලාවට මැස්සෙක් වත් නෑ. &#%$## මම හිතෙන් බනිනවා. තවත් විනාඩියක් යන්න කලින් වොෂ් රූම් එකේ දොර ඇරුණා. දෙයියො එව්ව වගේ ඒ ආවෙ මගෙ යාළුවා හර්ෂි..! මට ඒ වෙලාවෙ දැණුන සැනසීම විස්තර කරන්න මම දන්න වචන මදි. හර්ෂි මාව දැකල පුදුම උණා. "මෙන්න! ලෙක්චර්ස් යන්න කියලා පෙරළගෙන ආපු ගෑණි තාම අන්ඩර්ස්කර්ට් එක පිටින්? මොකද බන් කරන්නෙ? යන්නෙ නැද්දෙ?"
"යන්න ඕනෙ හර්ෂි මගෙ ඩෙනිම නෑ"
"හුටා!"
"ඕව් මචෝ. ඔයා හොද වෙලාවට ආවෙ. ඒක ඇත්තෙ මගෙ පොත් බෑග් එකේ. බෑග් එක රිසෙප්ෂන් එකේ, මට ගේන්න අමතක උණා. අනේ කෙල්ලෙ ඒක ගෙනත් දීපන්"
"මට දෙයිද එහෙම කාගෙවත් බෑ එකක්"
"අනේ ට්‍රයි කරපාන්.." මම කන් කෙදිරි ගෑවා.
"බැරි උණොත් ආපහු සාරිය ඇදගෙන එළියට යමු."
"මම සාරි අදින්න දන්නෙ නෑ ඕයි." මම කිව්වා.
"මළා. වෙලාවට මම දන්නෙත් නෑ හරියටම. මටත් අක්කා කෙනෙක් ඇන්දුවෙ. හරි හරි..මම ෂේප් එකක් දාල බෑග් එක ගන්න බලන්නම්" කියල හර්ෂි එළියට ගියා. හර්ෂි ආපහු එනකම් මම සියළු දෙවි දේවතාවුන්ට පින් දුන්නා.
විනාඩි ගානකට පස්සේ හර්ෂි ආවෙ මගෙ බෑග් එකත් අරගෙන..හම්මේ ඇති යන්තම්. මම ඊට පස්සෙ දැක්කෙ රිසෙප්ෂන් එකේ හිටපු අනිත් ගර්ලුත් ඇවිල්ල කියලා.! හපෝයි..වස නෝන්ඩිය! මොනා උණත් අනුන්ගේ බෑග් එකක් කාට හරි දෙනකොට වගකීම තියෙන්නෙ එයාටනෙ. හර්ෂි කොහොමහරි දන්න තුරුම්පු සේරම දාල බැරිම තැන එයාවත් එක්ක ගෙනම එන්න ඇති. මට වෙච්ච දේ අහල එයාටත් හිනා. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. කමක් නෑ එයත් ගෑණු පරාණයක්නෙ.
"මීට පස්සෙ වත් ඇදන් ඉන්න ඇදුම ගලවන්න කලින් මාරු කරන ඇදුම තියනවද කියල බලලා ඉන්න. විශේෂයෙන්ම ගලවන ඇදුම ආයි අදින්න දන්නෙ නැති එකක් නම්."
හර්ෂි ප්‍රොෆෙෂනල් විදියට නෝන්ඩි දානවා එකසිය ගානට. හෙට කැම්පස් ඇවිල්ල ඉවරයි වගෙ. මම ටිෂු එකකින් මේක්-අප් පිහිද ගෙන අඩියට දෙකට එළියට පැන්නා..