Pages

Sunday, April 12, 2015

Let's learn spanish..ස්පාඤ්ඤ බස උගනිමු..(First Lesson - lección uno)



"උමා උඹේ අර බ්ලොග දැන් වහලද බන්...?"

මගෙන් යාළු මිත්තරයෝ ඇහැව්වා පහුගිය අවුරුද්ද පුරාම..

"..එක්සෑම් තියනවා බන්..ලියන්න වෙලා නැහැ.."

"..අසයින්මන්ට් එකක් තියනව බන් ලබන සතියෙ ඩෙඩ් ලයින්.."

"..Thesis ලියනවා මචන් දවල් රෑ නැතුව.."

ඔව්ව තමා මම දීපු හේතු..

"මොනවද බන්ස් මෙලෝ රහක් නෑ උඹෙ ලයිෆ් එක..." උන් නිතරම කියපි..

"කරන වැඩේ බොක්කෙන්ම කරන්න එපාය මචන්ලා..."



හැබැයි පිටිපස්ස හැරිල බැලුවම උන් කියන කතාව ඇත්ත..කාලය ගත වෙලා ජීවිතේ ගෙවිලා හැබැයි මම කරන්න ආස දේවල් මුකුත් කරල නැහැ...කරන්න ආස නැති දේවල් කොහොම හරි කෙරෙනවා..ඒ මොකෝ ඒව ගොඩක් ඒවට ඩෙඩ් ලයින් එකක් තියනවා..නැත්තම් පාස් මාක් එකක් තියනවා..

හැබැයි අපේ ජීවිතේ අපි කරන්න ආස දේවල් වලට, නැත්තම් අපි කරන්න ඕනෙ කියලා හැමදාම හීන දකින දේවල් වලට ඩෙඩ් ලයින් නැහැ..ඒක නිසා ඒව කවදට කලින් කරන්න ඕනෙද කියල අපි දන්නෙ නැහැ..කවුරවත් පාස් මාක් දීල නැති නිසා ඒව කොච්චර හොදට කරන්න ඕනෙද කියල එකක් නැහැ..එයින් මෙයින් වෙන්නෙ අපේ හීන, හීනම වෙලා අපි එක්කම දවසක මැරිල යන එක...

එක්සෑම් ඉවරයි..ඉවරයි..දැන් මන් එළම කිරි කියල කරන්නෙ මන් ආස දේවල්...! ජය වේවා!

අද පටන් ගන්න යන්නෙත් ඒ වාගෙ වැඩක්..මම හදන්නෙ බ්ලොග් අවකාශයෙ යාළු මිත්තරයන්ට ස්පාඤ්ඤ බස උගන්නන්න..ස්පාඤ්ඤ බසට කැමති යාළුවෝ ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා..ඒ අය වෙනුවෙනුයි මේ ලියන්නෙ..



අද හා පුරා කියල පටන් ගත්ත වගේම කම්මැලි නොවී දිගටම කරගෙන යන්නත් පුළුවන් වේවා යන්න මගේ පැතුමයි..නැත්තන් මගේ ස්පාඤ්ඤ පාඩම් පෙළ පිපිඤ්ඤා වෙනවා..

අපි පටන් ගනිමු ගණන් කිරීමෙන්..එකේ සිට විස්සට....හර්ර්ර්රී යාන්...!!!

1 - uno  (උනො )  
2 - Dos  (දොස්)
3 - Tres  (ත්‍රෙස්)
4 - Cuatro (ක්වත්‍රො)
5 - Cinco (සින්කො)
6 - Seis (සෙයිස්)
7 - Siete (සියෙතෙ)
8 - Ocho (ඔචො)
9 - Nueve (නුඑවෙ)
10- Diez (දියෙස්)

කොහොමද? පොඩි බ්‍රේක් එකක් අරන් දහයෙ ඉදන් විස්සට ගණිමු..

11 - Once (ඔන්සෙ)
12 - Doce (දොසෙ)
13 - Trece (ත්‍රෙසෙ)
14 - Catorce (කතොර්සෙ)
15 - Quince (කින්සෙ)
16 - Diez y seis (දියෙස් ඉ සෙයිස්)
17 - Diez y siete (දියෙස් ඉ සියෙතෙ)
18 - Diez y ocho (දියෙස් ඉ ඔචො)
19 - Diez y nueve (දියෙස් ඉ නුඑවෙ)
20 - Veinte (බෙයින්ති)
 


Y කියන්නේ "සහ" නැත්තම් "and" කියන එකට
ඒ කියන්නෙ දහහත කියන්නේ Diez y siete (දියෙස් ඉ සියෙතෙ) නැත්තම් දහයයි හත කියන විදියට..


හරේ...!!!

මේ වීඩියෝව නරඹන්න..අද පාඩම තවත් පැහැදිලි වෙයි..   

https://www.youtube.com/watch?v=cd7QDOfeyoc

දැන් මේක කියවලා එකේ ඉදන් විස්සට ගණන් කරනවාද, නැත්තම් මෙලාකටත් කුණුහරපයෙන් බනිනවාද දන්නෙ නෑ..මේ මොන එකක්ද කියලා..

ඒ කොහොම උනත් ඔබලාගෙන් හොද ප්‍රතිචාර ලැබුනොත් මම ලියනවා දිගටම...ආයි ස්පාඤ්ඤයට, මෙක්සිකෝවට, ආජන්ටිනාවට නැත්නම් ග්වාටමාලාවට ගිහින් එහෙ ඉන්න සෙට් එකට ස්පැනිස් උගන්නන්න පුළුවන් වෙන්න..

ජය වේවා..ඊ ළග පාඩමෙන් හමුවෙමු...!

 -උමා-







Saturday, September 14, 2013

"අදින්න මිනි ගවුම අදින්න...."



අද සෙනසුරාදාය..ගෙදර ඉන්නා දවස නිසා අත්තා බලන්න ගියේ කිසියම් උදව්වක් පදව්වක් ඇත්නම් කරල දීමටය..අත්තාගේ බුලත් වට්ටියෙන් බුලත් විටක් හදාගෙන හපමින් ටිකක් වෙලා සුහද කතා බහේ යෙදුනෙමි. වෙන වැඩක් කිරීමට නොතිබුණෙන් අත්තාගේ පරණ අල්මාරිය අස් කිරීමට පටන් ගත්තෙමි....අස් කරන්න ගත්තාට, අස් කිරිල්ලට වඩා මම කැමති එහි ඇති කෞතුක වස්තු අවුස්සා බලා එහි නිදාන කතාව සොයා බැලීමටය. ඇතැම් වස්තූන්ගේ ඉතිහාසය දශක කිහිපයක් ඈතට යන තරම් පැරණිය. එසේම රසවත්ය..මෙසේ කෞතුක වස්තූන් අවුස්සන අතර මට හම්බුණේ පැරණි ඇල්බමයකි..මම එය පෙරළා බැළුවෙමි..හප්පේ..එහි තිබ්බේ වැඩි හරියක් 60 දශකයේදී ගත් අපේ අම්මාගේ කළු සුදු පින්තූරය.අම්මා ඒ දවස් වල දාසයෙ කෑල්ලකි..අම්මාගේ පවුලේ අක්කලා නන්ගිලා 7 කි.ඇල්බමයේ තිබූ 60'ටේ ෆැෂන් මා විමතියට පත් කරන සුළුයැ. එව්වායේ මිනි ස්කර්ට් සහ මිනි ගවොම් වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මිනි"ය. ඇල්බමය පෙරළාගෙන යත්ම හමු වූයේ අම්මලාගේ පවුලේ පින්තූරයකි..හෆොයි..එහි සිටි යුවතියන් සැවොම මිනි ඇදුම් වලින් සැරසී සිටියහ...! අක්කලා නන්ගිලා සේරම අඩ නිරිවස්තරෙන් වාගේය...:O එහෙත් මෙව්වා ඒ කාලේ ෆැෂන්ය. එව්වා නිකමට හරි අපි දැන් කාලයේ ඇන්දානම් බඩු පැකට්ය!





60ටේ "මිනි" ෆැෂන් තව දුරටත් අද්යයනය කිරීමේ කුහුල නිසා මම ඇල්බමය පෙරලාගෙන ගියෙමි. ඊළ්ගට හමුවුණේ අම්මලාගේ ඉස්කෝලේ කොන්සට් එකකදි මිතුරියන් එක්ක ගත්තු පින්තූරයකි. බොලේ! ඒ දැක මට නම් වහ කන්ට සිත්විය. ඡායා රූපයේ සිටි කෙල්ලන් සියල්ලන්ගේම ගල් එළියේය..! එකත් එකටම යට කෑල්ල අදින්ට අමතක වෙලාවත්ද? මෙව්වා ඇදන් ඇවිද්දේ කොහොමද මන්දාය. අපහසුවෙන් හෝ ඇවිද්දත් පඩි පෙළක් කාරිය නගිද්දී වහගන්ට ඕනෙ තැන් වහගෙන නැග්ග හැකිදැයි සැකය! 




වත්මන් සමාජයේ අයියලා මල්ලිලා මාමලා බාප්පලා විවේචනය කරන්නේ අපේ ඇදුම්ය..එහෙම කරන එව්වෝ මෙව්වා දැක්කොත් එල්ලිලා මැරේය. වත්මන් ලාන්කීය සමාජය දිනෙන් දින වැඩිවන කාම අපරාධ රැල්ලට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දෙන්නේ කතුන්ගේ විලි සන්ගෙ නැති ඇදුම්ය. කතාව ඇත්ත වෙන්ට ඇත. ඒත් හත්දෙයියනේ මට නොතේරෙන දෙයක් ඇත. 60-70 දශකයේ සිටි පිරිමින් සිටියේ මේ වගේ "මිනි" ෆැෂන් බල බලා නම්, ඒ කාලේ මේ වගේ අපරාධ නොවුණේ ඔවුන්ට හැගීම් දැනීම් තිබ්බේ නැද්ද? ඒකත් වෙන්ට බැරිය. මන්ද යත් ඒ කාලේද ළමයි ඉපදුණෝය. ඒ කොහොම වුණත් මෙබදු ඇදුම් ඇදගෙන අපේ අම්මලාගේ කාලයේ තරුණියෝ ඒ දවස් වල පාර තොටේ ගියෝය. ගිහින් නිරුපද්‍රිතව ගෙදරද ආවෝය. අපිට නම් මෙහෙම ඇන්දොත් පාරේ යන්ට කොහොම උනත් ආපහු එන එක ෂුවර් නැත! එකම ඇදුමට කාලයත් සමග වෙනස් වූ සමාජ රටා දෙකක් ප්‍රතිචාර දක්වන හැටි කල්පනා කරද්දී මගේ හිස කැරකෙන්නට විය. ප්‍රශ්නය එතරම්ම බරපත්ල නිසාය. ඒ සදහා සෑහෙන බොන්න ඕනෑය. අඩුමගානේ ප්ලේන්ටියක් වත් ඕනෑය. එහෙයින් මම අල්මාරිය වසා කුස්සියට ගියේ ප්ලේන්ටියක් ගහන්ටය...


Sunday, June 23, 2013

ගැහැණු ළමෝ...


අද මගේ ජීවිතේ ලොකු හීනයක් හැබෑ උණා...
පුන්චි කාලෙ ඉදන් මගෙ හිතේ ලොකු ආසාවක් තිබුණා...


ඒ තමයි, මෙහෙණින් වහන්සේ නමකගෙන් බණ අහන්න...

අද, ශ්‍රී බුද්ධ වර්ෂ 2557 වූ පොසොන් දින ඒ හීනය හැබෑ වුණා...

අද මම සිල් සමාදන් වුණේ උඩුපිල මහමෙව්නා අනගාරිකා අසපුවෙ. පළවෙනි වතාවට පොසොන් දිනක කසාවත් පෙරවා ගත් මෙහෙණින් වහන්සේලාගෙන් ධර්මය ශ්‍රවණය කළා. තවමත් යොවුන් වියේ උන් උන්වහන්සේලාගේ සුමධුර හඩින් ජීවිතයේ අනිත්යය ශ්‍රවණය කරන විට හිත පැහැදිලා ජීවිතයේ සැබෑ තතු වැටහුණා. ගැඹුරු ධර්ම කරුණු සරලව වටහා දෙන විට උන්වහන්සේලාගේ ප්‍රඥාව කෙතරම්දැයි සිතුණා.

වසර කිහිපයකට කලින් ඒ මෙහෙණින් වහන්සේලාත් අපි වගේම ජීවිත ගෙවන්න ඇති. සාමාන්ය ගැහැණු ළමයි විදියට ජීවිතය ගෙවන්න ඇති..දැන ගන්න ලැබුණු විඩියට හුගක් මෙහෙණිවරුන් ඉතාම ඉහලට ඉගෙනීම ලබපු අය. ඒ අතර ඉන්ජිනේරුවරියකුත් ඉන්නවා. නොපෙනෙන හීන හැබෑ කරගන්න දුවන තරගයෙන් මිදිලා, දුර්ලභ වූ උතුම් මනුෂ්ය ජීවිතයේ පල නෙලා ගෙන භයානක සන්සාරයෙන් මිදෙන්න ඒ ජීවිතයට ලැබුණු දහිරිය හා වාසනාව අපිට නැත්තෙ ඇයි කියලත් හිතෙනවා. අපි සන්සාරයට ඇලිලා. කම් සැපයට ඇලිලා, මුලාවෙලා ඔහේ රවුමක කැරකෙනවා. මෙහෙණි ජීවිතය වෙනුවට ඔවුන් විවාහ ජීවිතය තෝර ගත්තා නම් මිය යනතෙක්ම ගිහි ජීවිතයේ ප්‍රශ්න, දරුවන්ට තියන බැදීම, කරදර, ගැටීම් එක්ක තවත් සසරටම බැදෙනවා...







ඒත්, ඒ මෙහෙණින් වහන්සේලා ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයාක, ලෞකික මාර්ගයත් ලෝකෝත්තර මාර්ගයත් අතරින් ඉතා නිර්භීත විදියට,වඩා දුෂ්කර එහෙත් නිවැරදි වූ ආර්යෂ්ටාන්ගික මාර්ගය තෝරා ගෙන ලොව්තුරා බුදු රජාණන්වහන්සේගේ ශ්‍රාවක දියණියන් බවට පත් වුණා. ඒ ජීවිත ඉතාම වාසනාවන්තයි...


මේ තියෙන්නෙ අනගාරිකා පැවිදි පින්කමේ වීඩියෝ දසුන්..







පින්වත් මෙහෙණි වහන්ස, මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්යය අවබෝධ කරගැනීමට ඔබට වාසනාව ලැබේවා..!



Saturday, June 8, 2013

ගුරුතුමී සහ සමනලුන්...



තරූෂයි ඉශානුයි 2 B පන්තියෙ හිටපු හොද යාළුවෝ. මේ පුන්චි යාළුවො දෙන්නට දෙන්න හරිම ආදරෙයි. ඉශාන් පොහොසත් ගෙදරක හුරතලේට හැදුණු පුන්චි පුතෙක්. තරූෂ  ටිකක් දුක් කරදර මැද හැදුණු දුප්පත් දෙමව්පියන්ගෙ දරුවෙක්.

2 වසරෙදි යාළුවෝ දෙන්නම හරි හරියට වගෙ ලකුණු ගත්තා උණාට තරූෂ ඉශාන්ට වඩා දක්ෂයි. ඉශාන් ගත්ත තරමක් ලකුණු ගත්තෙ නම් තරූෂගෙ උදව්වෙන් තමයි. ඉශාන් ගෙදර වැඩ කරගෙන ආවෙ නැති දවස්සට තරූෂ ඒව කරල දෙනවා. ඉශාන්ට බැරි ගණන් වලට තරූෂ උදව් කරනවා. 2 වසරෙ පන්තියෙ ගුරුතුමී හැමදාම තරූෂගෙ රචනාව පන්තියටම ඇහෙන්න කියවනවා. ඒ වගේම ඉශානුත් එයාට පුළුවන් විදියට තරූෂට උදව් කරනවා. ඉශාන්ගෙ අම්මයි තාත්තයිත් තරූෂට ගොඩක් ආදරෙයි. තරූෂ ඉගෙන ගන්න දක්ෂයි කියලවත් ඉශාන්ට සල්ලි තියෙනවා කියලවත් ඒ දෙන්නා අතරෙ කවදාවත් තරගයක්වත් ඉරිසියාවක්වත් තිබුණෙ නෑ. 2 වසර පන්තියෙ ගුරුතුමී මේ දෙන්නටම හරිම ආදරෙයි.




2 වසර පන්තියෙන් 3 වසර පන්තියට යනකොට පන්ති වෙන් කළාට කොහොම හරි තරූෂ සහ ඉශාන් එකම පන්තියට වැටුණා. පන්ති භාර ගුරුතුමිය අනූෂා කියලා ලස්සන උස සුදු ටීචර් කෙනෙක්. යාළුවො දෙන්න අළුත් අවුරුද්දේ අළුත් වාරයෙ පන්තියෙ වැඩ පටන් ගත්තෙ හරිම ආසාවෙන්. 3 වසර ගුරුතුමී හරිම ලස්සනයි, තරුණයි. හැබැයි ටිකක් වසයි. ළමයි ගෙදර වැඩ කරන්නෙ නැතුව ඉස්කෝලෙ එන්න හරි බයයි ටීචර් ගහන නිසා. තරූෂට නම් අමුතුවෙන් බය වෙන්න දෙයක් තිබුණෙ නැත්තෙ එයා පන්තියෙ වැඩ හොදට කරන දක්ෂ ළමයෙක් නිසා.


හැබැයි ටික කාලයක් යද්දි තරූෂගෙ පුන්චි හිතට හේරුණු දෙයක් තිනුණා. 2 වසර පන්තියෙ ගුරුතුමී වගේ නෙවෙයි, අනූශා ටීචර් පන්තියේ හැම ළමයෙකුටම "එක හැන්දෙන් නෙවෙයි බෙදන්නෙ" කියලා. ටීචර්ට එයාගෙ "ෆේවරිට්" ළමයි හිටියා. ඒගොල්ලො පන්තියෙ වැඩ කළත් නැතත් ටීචර්ට ඒගොල්ලන්ව හොදයි. අනික් ළමයි වැඩ කළත් නැතත ඇයට ගානක් නැහැ. වැඩ නොකළොත් බනිනවා. ඒත් හොදට වැඩ කළත් අගය කිරීමක් නැහැ. මේ අතර තව කාණ්ඩයක් හිටියා. ඒ ළමයි ටීචර්ට පේන්නෙ තරහ කාරයෝ වගේ. ඒ ළමයි මොනවා කළත් ඈට වැරදි. තමන්ගෙ "ෆේවරිට්" ළමයින්ව නම් හැමතිස්සෙම හුරතල් කර කර ඉන්නවා. වැඩේ කියන්නෙ ඒ කාණ්ඩෙ හිටියෙ එක්කෝ ඉශාන් වගේම ඉස්කෝලෙ ගාවට කාර් එකෙන් ඇවිත් බහින ළමයි. එක්කෝ සුදු ළමයි, ලස්සන ළමයි, එහෙමත් නැතිනම් ඉස්කෝලෙ අනික් ටීචර්ලගෙ ළමයි. ටීචර් අකමැති කණ්ඩායමේ හිටපු ළමයි එක්කෝ දුප්පත් දෙමව්පියන්ගෙ ළමයි, නැත්තම් ඒතරම් ලස්සන නැති ළමයි, නැත්තම් කළු ළමයි. ටීචර් පන්ති නායක කම දෙන්නෙත් එයා කැමති ළමයින්ට.

පන්තියෙ පුන්චි එව්වොන්ට මේ දේවල් පේනවා,පුන්චි හිත් වලට මේව දැනෙනෙනවා. අපේ ඉශාන් හිටියෙ ටීචර්ගෙ ෆේවරිට් ළමයි ගොඩේ. ගණන් හැදුවත් නැතත්, ගෙදර වැඩ කළත් නැතත්, ටීචර් ඉශාන්ට බනින්නෙ නැහැ. මොනව හරි දග වැඩක් කළත් කම්මුල මිරිකලා නිකන් ඉන්නවා.


අවාසනාවකට වගේ පුන්චි තරූෂ හිටියෙ ඇය අකමැතියි කියලා වෙන් කරපු ළමයි ගොඩේ. තරූෂගෙ පවුලේ විස්තර ටීචර් දැනගෙන හිටියා. ඒත් කිස්ම අනුකම්පාවක් නෑ. තරූෂ කොච්චර හොද උණත් කිසිම අගය කිරීමක් නැහැ. තරූෂගෙ පොත ටීචර් බැලුවෙත් ඕනවට එපාවට. ඒකත් පුන්චි හරි වැරැද්දක් හොයන්න බලාගෙන.

මේ වෙනස පුන්චි හිත් වලට හොදටම දැණුනා විතරක් නෙවෙයි, ඒ ගොල්ලන්ගෙ ජීවිත වලට තදින්ම බලපෑවා. ඉශාන්ට ඉගෙන ගන්න තිනුණු ඕනෙ කම නැත්තටම නැති වෙලා ගිහින් හොදටම දග ළමයෙක් උණා. ඉස්සර ටීචර්ට බයේ ගෙදර වැඩ, පන්තියෙ වැඩ කරපු ඉශාන් දැන් කිසිම දෙයක් ගණනකට ගත්තෙ නැත්තෙ තමන් මොනව කළත් ටීචර් මොනවත් කියන්නෙ නෑ කියලා දන්න නිසයි. ගුරුතුමීගෙ සැලකිලි නිසා ඉශාන් දැන් ටිකක් ආඩම්බරයි. දග වැඩ කරනවා. නිතර ටීචර්ට කේළම් කියනවා.


අනිත් අතට තරූෂ පන්තියේ වැඩ කරන එක ටිකත් අඩු වෙලා ගියේ තමන් මොනවා කළත් ගුරුතුමී බනින බව තේරුම් ගත්ත නිසයි. ඔහුට තමන්ගෙ අඩු පාඩු පෙනෙන්න ගත්තා. එක දවසක් ටීචර් බැන්නෙ පරණ පොත් වල නොලියපු පිටු එකතු කරලා හදාගත්තු පොතක ලියනවා දැකලා..ගෙදරින් අලුත් පොත් අරන් දෙන්නෙ නැද්ද කියලා ඇය උපහාසයෙන් හිනා උණා..මේ ඔක්කොම දුප්පත් කම නිසා නේද කියලා හිතපු පොඩි එකා මානසිකව වැටුණා...


ඒ මදිවට දැන් ඉශාන්ගෙයි තරූෂගෙයි යාළු කමත් වැට උඩ වගෙයි. ඉශාන්ට අළුත් යාළුවො ඉන්නවා. තරූෂගෙ ලෝකය තවත් කඩා වැටුණා.

පන්තියෙ තීන්ත ගාන දවසෙ ඉශාන්ගෙ දෙමව්පියන්ටයි, තරූෂගෙ දෙමව්පියන්ටයි එන්න බැරි උණා. ටීචර් ඉශාන්ට වචනයක්වත් කිව්වෙ නැහැ. ඒත් තරූෂට ළගට අඩගහලා ඔහුගෙ දෙමාපියන්ට හොදටම දෙස් තිබ්බා, ළමයා ගැන වගකීමක් නෑ කියලා. අම්මලාට බනින කොට තරූෂගෙ පුන්චි හිතට ආවෙ ලොකු දුකක්."ඇති" තැනයි "නැති" තැනයි වෙනස පුන්චි එකාට දැන් හොදට තේරෙනවා.



ටික දවසකින් වාර විභාගය ආවා. ඉශාන්ගෙයි තරූෂගෙයි ලකුණු කවදාවත් නැති විදියට හොදටම අඩුයි. ලකුණු පරීක්ෂා කිරීමේදි 3 වසර භාර ගුරුතුමිය මේ ගැන හොයලා බැලුවා. තරූෂ හුගක් දක්ෂ ළමයෙක් බව ඇය දැනගෙන හිටියා. පන්තියේ සිද්ද වෙන වෙනස් කම් ගැන ඇයට දැන ගන්න ලැබුණා. කතන්දරේ විදුහල්පතිතුමිය ගාවටම ගියා. විදුහල්පතිනිය ළමයි දෙන්නගෙම දෙමව්පියන් එක්ක කතා කළා. එහෙන් ඉශාන් අකීකරු, කියන දේ අහන්නෙ නැති ඉස්කෝලෙ වැඩ නොකරන දග ළමයෙක් වෙලා. තරූෂ හැම තිස්සෙම ඉන්නෙ දුකෙන්, කේන්තියෙන්. හැම වෙලේම කල්පනා කරනවලු. කවදාවත් නොකරපු විදියට අම්මලා එක්ක රණ්ඩු වෙනවලු, අළුත් පොත්, ඇදුම්, සපත්තු එහෙම ඉල්ලලා.

කරුණාවන්ත විදුහල්පතිනියට සිද්ද වෙලා තියන දේ තේරුණා. ඈ පන්ති භාර ගුරුතුමිය ගෙන්නලා අවවාද කළා. ළමා කාලය කියන්නෙ ජීවිතයෙ පදනම, ඒ කාලයෙ ළමයින්ගෙ මනසට වැටෙන දේවල අනුවයි ජීවිතය හැඩ ගැහෙන්නෙ. තමන්ගෙ පුද්ගලික කැමැත්ත, හැගීම් අනුව වැඩ කිරීමෙන් ගුරුතුමී මේ කරන්නෙ පුන්චි එවුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමක් කියලා විදුහල්පතිනිය පැහැදිලි කළා.

ඒ කතාව අහගෙන හිටියත් ගුරුතුමියට කියන්න හේතු තිබුනා. තමන්ගෙ වැරැද්ද පිළිගන්න ඇය ලෑස්ති නැහැ. ඒ විතරක් නෙවෙයි, අහින්සක ළමයින්ට බනින්න ඇයට තිබුණු "සාධාරණ" හේතුත් ඉදිරිපත් කළා. හිතුවක්කාර ගුරුවරියක් නිසා අසරණ දරුවන්ගෙ ජීවිත නාස්ති වෙන හැටි ඇයට පෙනුණා. 

පුන්චි ළමයිනුත් සමනල්ලු වගේ. උන්ට එක එක පාට පියාපත් තියනවා. සමහරක් පිහාටු හරිම ලස්සනයි. දැක්කම ආස හිතෙනවා. සමහර උන්ගෙ පිහාටු එච්චරම ලස්සන නෑ. ලස්සන උණත් නැති උණත් මේ පිහාටු හරිම සියුමැලියි..පිහාටු කැඩිලා බිදිලා ගියොත් උන්ට නැති වෙන්නෙ ජීවිතේමයි..පිහාටු ලස්සන උණත් නැතත් උන් පියාඹනවා..ඒ උන් සමනල්ලු නිසා....





Friday, May 31, 2013

සාරියෙන් කලිසමට බහින්න ගිහින් වෙච්ච ඇබැද්දියක්..

                           

මේක ඉතින් වෙන කාටවත් නෙවෙයි මටම වෙච්ච ඇබැද්දියක්. එකපාරක් මගේ යාළු කොල්ලෙක් ඒකගෙ වෙඩින් එකට මට ආරාධනා කරලා තිබුණා. එතකොට අපි 3rd ඉයර් එකේද කොහෙද. බොරු කියන්නෙ මොකටද ඒ කාලෙ මම සාරි අදින්න දන්නෙ නෑ. වෙඩින් එකකට යනවනම් පාටි ඩ්‍රෙස් එකක් හරි ෂල්වාර් කමීස් හරි තමා ලේසියට අදින්නෙ. සාරි නොඇදම බැරි එකක් නම් ඉතින් කාට හරි කියල අන්ද ගන්නවා. අනිත් එක මට දවසම හරි වරුවක් හරි ඔය යාර හයක් පටල ගෙන ඉන්නව කියන එක ඒ දවස් වල හිතා ගන්න බැරි දෙයක්. ඉතින් සාරියත් එක්ක මගෙ තිබ්බෙ බොහොම දුරස්ථ සම්බන්ධයක්. ඒකයි ලේසියට අර වගෙ එකක් ඇදන් ගිහින් ෂේප් වෙන්නෙ. ඒක මගෙ යාළුවොත් දන්නවා.
වැඩේ කියන්නෙ මේ කොල්ලා එක්ක එහෙම බෑ. වෙඩින් එකට ඉන්වයිට් කරන ගමන් මූ කියපි "උඹ මගෙ වෙඩින් එකට සාරියක් ඇදන් වරෙන් තේරුණාද? නයි නළගන වගේ සර්වාරිද වල්සාරිද මොනාද ඇදන් ඇවිල්ල තිබ්බොත් බලාගෙනයි!" කියලා. එහෙම තර්ජනය කරාම ඉතින් තවත් කොහෙද. මොනව කරන්නද ඉතින් ඒ පාර සති ගානක් තියා සාරි හැට්ට මහන්න ඕඩර් දීල,  මිමි අරගෙන, ඩිසයින් හොයාගෙන, බ්ලොක් හදාගෙන, මස්සවලා, ෆිට් ඔන් කරලා, ආයෙ ලොකු කරලා පුන්චි කරලා හදා ගත්තා. හයියූ...සාරිය වූකලී එබදු වූ දුක් ගැහැට රැසකි. අනික් ඇදුම් වගෙ කලින් දවසෙ රෑට ලෑස්ති කරන්නයැ ඉතින්.
වෙඩින් එක තිබ්බෙ සතියෙ දවසක. උදේ ලෙක්චර්ස් නම් කට් කරන්න පුළුවන්. ඒත් බ්‍රහස්පතින්දා හවස 3ට තියන ලෙක්චර් එක කට් කරන්නම බැරි එකක්. ඒ හින්දා මම වෙඩින් එකට "හාෆ් ඩේ" යන්න හිතාගන ඇදුනුත් අරගෙනම ආවා. "හාෆ් ඩේ" කිව්වට මනාල යුවළ පිටත් වෙන්න පැයකට කලින් ගියාම මට ඇති.
මොනා වුනත් අපරාදෙ කියන්න බෑ සාරියට හොද කමෙන්ට්ස් ටිකක් නම් හම්බ උණා ;) වෙච්ච මහන්සිය ගොඩක්ම අපතෙ ගිහිල්ලම නෑ වගෙ. සමහරු මම සාරි ඇදන් ඉන්නව දැකල උඩ ගිහිල්ලා. අද වහීද කියලා කුඩ හොයනවා!
ලෙක්චර් එකට යන්න වෙලාව ඇති කියලා හිතුවට හැමෝටම බායි කියලා, ෆොටෝස් සීයකට විතර මූණ දාලා, මනාල යුවලට සුබ පතලා, කලින් යන එකට යාළුවගෙන් බැණුනුත් අහලා යන්න ලෑස්ති වෙනකොට හිතුවට වඩා පරක්කු වෙලා. ඇයි දෙයියනේ මම ඇදුම් මාරු කර ගන්නත් එපාය. දැන් ඉතින් බස් එකේ යන්න වෙලා නෑ. ට්‍රයිෂෝ එකකවත් යනවා කැම්පස් එකට. තවත් අදුරන කවුරු හරි සෙට් වෙන්න කලින් මම හෝල් එකෙන් එළියට පැන ගතෙතෙ පරක්කු වෙන නිසාමයි. හෝල් එකට එනකොට මම මගෙ පොත් දාපු බෑග් එකයි ඇදුම් දාපු බෑග් එකයි රිසෙප්ෂන් එකේ තියලා ආවෙ. ඇදුම් බෑග් එක විතරක් අරගෙන මම ලේඩීස් වොෂ් රූම් එක ගියේ අනික් බෑග් එක එන ගමන් ගන්නම් කියල රිසෙප්ෂන් එකේ ගර්ල්ට කියලයි.
වොෂ් රූම් එකට පැනගත්ත ගමන් මම කලේ අර ඔතාගෙන හිටපු යාර හයෙන් නිදහස් වෙන්න හිතාගෙන සාරිය ගලවල දාන එකයි. ඇයි වදේ කවද කාපු ටකරන්ද? සාරිය නවලා දාගෙන මම මාරු කරන ඇදුම හොයන්න ගත්තා. එතකොට තමා කෑ ගැස්සුනේ....හත්වලාමේ! කෝ මගෙ ඩෙනිම? මම උදේ දා ගත්තා හොදට මතකයි. ඒත් මම දාගෙන තියෙන්නෙ ටී ෂර්ට් එක විතරද? බෑග් එක අනිත් පැත්ත ගැහුවා. ඩෙනිම නෑ..! දැන් සාරියත් ගලවලා..සාරිය ආපහු අදින්න දන්නෙත් නෑ.*&*(^&$#%#


                           
                               




දැන් ඉතින් කාපන්කො ටින් කිරි! ඒත් මට මතකයි මම ඩෙනිම බෑග් එකට දා ගන්නවා.....
හරි..ෂුවර් එකටම මම ඩෙනිම දා ගන්න ඇත්තෙ පොත් බෑග් එකට. පොත් බෑග් එක කෝ ඉතින්? රිසෙප්ෂන් එකේ. #$#%$^%&!@
මම ගත්ත ෆෝන් එක, යළුවෙක්ට කෝල් කරලා රිසෙප්ෂන් එකෙන් බෑග් එක ගෙන්න ගන්න. ෆෝන් එක ගන්නෙ නෑ. තව එකෙක්ට ගත්තා. ඒත් ගන්නෙ නෑ. යාළුවෝ සෙට් එකටම ගත්තත් එකෙක් නෙවෙයි ආන්සර් කරන්නෙ. @#$#$%%
හැබැයි ඉතින් අපෙ උන් වාඩි වෙලා හිටියෙ ඩී. ජේ ගෙ කණ අස්සෙ තිබිච්ච ටේබල් එකේ. ඒ කරච්චලේට ෆෝන් රින්ග් වෙනව තියා හෙණ ගැහුවත් ඇහෙයිද?
දැන් මොකෝ කරන්නෙ? ඊළගට  වොෂ් රූම් එකට කවුරු හරි එනකම් ඉදලා රිසෙප්ෂන් එකෙන් බෑග් එක ගේන්න කියනවා. ඒත් කාගෙවත් බෑග් එකක් එහෙම කාටවත් දෙයිද? කමක් නෑ ට්‍රයි කරනවා කියලා විනාඩි දෙකක් විතර හිටියා. එකෙක්වත් ආවෙ නෑ වොෂ් රූම්  එකට. මේ වෙලාවෙ හැටියට විනාඩි දෙක අවුරුද්දක් වගෙ දැණුනෙ. මෙතන වෙන අවශ්යතාවයකට ආවනම් පෝලිමක ඉදලයි යන්න වෙන්නෙ. ඕනෙ වෙලාවට මැස්සෙක් වත් නෑ. &#%$## මම හිතෙන් බනිනවා. තවත් විනාඩියක් යන්න කලින් වොෂ් රූම් එකේ දොර ඇරුණා. දෙයියො එව්ව වගේ ඒ ආවෙ මගෙ යාළුවා හර්ෂි..! මට ඒ වෙලාවෙ දැණුන සැනසීම විස්තර කරන්න මම දන්න වචන මදි. හර්ෂි මාව දැකල පුදුම උණා. "මෙන්න! ලෙක්චර්ස් යන්න කියලා පෙරළගෙන ආපු ගෑණි තාම අන්ඩර්ස්කර්ට් එක පිටින්? මොකද බන් කරන්නෙ? යන්නෙ නැද්දෙ?"
"යන්න ඕනෙ හර්ෂි මගෙ ඩෙනිම නෑ"
"හුටා!"
"ඕව් මචෝ. ඔයා හොද වෙලාවට ආවෙ. ඒක ඇත්තෙ මගෙ පොත් බෑග් එකේ. බෑග් එක රිසෙප්ෂන් එකේ, මට ගේන්න අමතක උණා. අනේ කෙල්ලෙ ඒක ගෙනත් දීපන්"
"මට දෙයිද එහෙම කාගෙවත් බෑ එකක්"
"අනේ ට්‍රයි කරපාන්.." මම කන් කෙදිරි ගෑවා.
"බැරි උණොත් ආපහු සාරිය ඇදගෙන එළියට යමු."
"මම සාරි අදින්න දන්නෙ නෑ ඕයි." මම කිව්වා.
"මළා. වෙලාවට මම දන්නෙත් නෑ හරියටම. මටත් අක්කා කෙනෙක් ඇන්දුවෙ. හරි හරි..මම ෂේප් එකක් දාල බෑග් එක ගන්න බලන්නම්" කියල හර්ෂි එළියට ගියා. හර්ෂි ආපහු එනකම් මම සියළු දෙවි දේවතාවුන්ට පින් දුන්නා.
විනාඩි ගානකට පස්සේ හර්ෂි ආවෙ මගෙ බෑග් එකත් අරගෙන..හම්මේ ඇති යන්තම්. මම ඊට පස්සෙ දැක්කෙ රිසෙප්ෂන් එකේ හිටපු අනිත් ගර්ලුත් ඇවිල්ල කියලා.! හපෝයි..වස නෝන්ඩිය! මොනා උණත් අනුන්ගේ බෑග් එකක් කාට හරි දෙනකොට වගකීම තියෙන්නෙ එයාටනෙ. හර්ෂි කොහොමහරි දන්න තුරුම්පු සේරම දාල බැරිම තැන එයාවත් එක්ක ගෙනම එන්න ඇති. මට වෙච්ච දේ අහල එයාටත් හිනා. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. කමක් නෑ එයත් ගෑණු පරාණයක්නෙ.
"මීට පස්සෙ වත් ඇදන් ඉන්න ඇදුම ගලවන්න කලින් මාරු කරන ඇදුම තියනවද කියල බලලා ඉන්න. විශේෂයෙන්ම ගලවන ඇදුම ආයි අදින්න දන්නෙ නැති එකක් නම්."
හර්ෂි ප්‍රොෆෙෂනල් විදියට නෝන්ඩි දානවා එකසිය ගානට. හෙට කැම්පස් ඇවිල්ල ඉවරයි වගෙ. මම ටිෂු එකකින් මේක්-අප් පිහිද ගෙන අඩියට දෙකට එළියට පැන්නා..


Saturday, May 18, 2013

විශ්වයේ ඇති අරුම පුදුම යන්තරේ...!!




එක්තරා යන්ත්‍රයකි..එය එක්තරා ආකාරයේ පරිගණකයක්. එහි දත්ත ගබඩාව අති විශාලය..! මෙම යන්ත්‍රය සෑදී ඇත්තේ තවත් කුඩා තැනුම් ඒකක බිලියන 100කින්..ඒ එක ඒකකයක් එක කුඩා පරිගණකයක් සේ ක්‍රියා කරනවා. ඒ එක කුඩා පරිගණකයක් සකසන දත්ත ප්‍රමාණය මිලියන 1ක්. ඒ කියන්නේ මෙම යන්ත්‍රයට වරකට හුවමාරු කල හැකි දත්ත ප්‍රමාණය 100,000,000,000,000,00 ක්! එනම් තත්පරයට GB මිලියන....??? 

මෙම අරුම පුදුම යන්ත්‍රයේ බර 1.5Kg ක්. එය තම උපරිම විභවයෙන් වැඩ කරන්න වැය කරන ශක්තිය  20Wක් පමණයි!!



මේ යන්තරේ ඔබ සතුද????


මට ඒ යන්තරේ හම්බ වුනා! හැබැයි කීයක්වත් වියදම් වුණෙ නෑ..මට ඒක ලැබුණෙ උපන් දින තෑග්ගකට! ඒත් අවාසනාවකට දීපු කෙනාට ඒකෙ User Manual එක දෙන්න අමතක වෙලා!

.
.
.
.
.
.
.
.
.
.
.
.




ඔව් ඔබ හිතුවා හරි..


නින්දේදිත්, අවදියේදිත් දිවා රෑ නැතිව වැඩ කරන මේ යන්ත්‍රය හැදිල තියෙන්නෙ නියුරෝන නම් මොළ සයිල බිලියන ගණනකින්..එක නියුරෝනයක් අසල්වැසි නියුරෝන 1000ක් එක්ක සම්බන්ධ වෙනවා. මේ නියුරෝන එකිනෙක හා සන්නිවේදනය කරන්නෙ එකිනෙක හා සම්බන්ධ වීමෙන්..එහෙම සම්බන්ධ කරන ස්නායු තන්තු සියල්ල දිග ඇරියොත් එහි මුළු දිග කිලෝ මීටර 180,000ක්. ඒ කියන්නෙ පෘතුවියේ වටේ වට 4ක් ඔතන්න පුළුවන් දිගක්! 

මොළයේ වම් පැත්තෙන් කරන්නෙ තර්ක කිරීම, ගණිතය, නිගමනයන්ට එලඹීම වගේ බැරෑරුම් දේවල්..දකුණු පැත්ත හැගීම් දැනීම්, සන්වේදනය, කලාත්මක හැකියාවන්, නිර්මානශීලී බව, මානව සම්බන්ධතා වලට වග කියනවා.
 

මොළය මිනිස් සිරුරේ මුළු බරෙන් 2%ක්. සිරුරට ලැබෙන මුළු ඔක්සිජන් ප්‍රමාණයෙන් 20%ක් පාවිච්චි කරන්නෙ මොළයේ ක්‍රියාකාරීත්වයට. ඉහත කී ක්‍රියාවන් සියල්ල ඉටුකරන්න අවශ්ය වෙන්නෙ ග්ලුකෝස් සුළු ප්‍රමාණයක් සහ ඔක්සිජන් ටිකක්.

ඔබේ මොළයේ ධාරණය කරගත හැකි කරුණු ප්‍රමාණය 360,000,000,000,000,000,0000 ක්! එනම් ජීවිත කාලයක් තුළ ඉගෙන ගත හැකි කරුණු ප්‍රමාණය...???

 ඒ යන්ත්‍රය ඔබ සතුයි..කිසිම වියදමක් නොදරා ඔබ මව් කුස උපන් දවසෙම සොබාදහමෙන් ලැබුණු අපූරු උපන් දින තෑග්ග එයයි..මිනිස් ජීවියෙක් සතු වටිනාම යන්ත්‍රය එයයි..ලෝකයේ ඇතැම් මිනිස් ප්‍රාණීන් මෙන් මන්ද බුද්ධික නොවී, ජාන විපර්යාස වලට ලක් නොවී, අනෙකුත් මොළයේ ආබාධ වලට ලක් නොවී, හදිසි අනතුරු වලට ලක් නොවී යන්තම් "ඔළුව බේරා ගත්" ඒ වාසනාවන්ත ජීවියා ඔබයි...විශ්වයේ ඇති අරුම පුදුම යන්ත්‍රය ඔබ සතුයි..! 


දැන් මෙච්චරවිස්තර දැන ගත්ත එකේ හෙට ඉදලවත් මේක පාවිච්චි කරන්න පටන් ගන්න ඕන :P





Saturday, April 13, 2013

උයන් පල්ලන් සහ බොන්සායි කරුවන්....






කොල්ලන් වර්ග දෙකකි..ඇතැම්හු උයන් පල්ලන් මෙනි..පොහොර දමා සාත්තු කර ගස් වවති..ඇතැම්හු බොන්සායි කරති...ගසට වැඩෙන්න නොදී කප්පාදු කරමින් ලස්සනට තබා ගනිති...ඇත්ත වශයෙන්ම, උන් ඒ ගස වැවෙනවාට බයය...

ඉහත කියූ කතාවේ තේරුම මොකක්ද? ඊයේ ලයිබ්‍රරි එකට යද්දි මගේ බැච් මේට් විජිනි හම්බ උණා..විජි මගේ බැච් එකේ හිටපු බ්‍රයිට්ම කෙල්ලෙක්. විජී බැන්දේ අපේ බැච් එකේම හිටපු පැතුමව.

හැබැයි පේන විදියට අද මූණ නම් එච්චර හොද නෑ වගේ..

"විජි මොකද සීන් එක? පැතුම් එක්ක වලියක් ඇද්දද?"

"ඔව්." මේකී කියපි.

"හෑ? එහ් මොකෝ" මම පුදුම උනා.

"දැන් ටික දවසක ඉදලා පැතුම් අමුතුයි.."

"හේතුව?"

"මම එම්. බී. ඒ කරන්න ගත්තු දවස් වල ඉදලා, එයා මා එක්ක හොද නෑ වගේ."

"ඇයි ඔයාගෙන් ගෙදර වැඩ වත් මග ඇරුණද?"

"එහෙම එකක් උනෙ නැහැ. ඒත් එයට තරහයි වගෙ."

මම පුදුම වුණා..

"ඒ අස්සෙ ළගදී මගේ සැලරි එකත් වැඩි උණානෙ. ඒකටත් එය තරහයි වගෙ"

"ඇයි හත් දෙයියනෙ..තමන්ගෙ වයිෆ්ගෙ සැලරි එක වැඩි උණානම් මිනිහෙක් කොච්චර සතුටු වෙන්න ඕනෙද?"

"ඒක තමයි ඕයි කියන්නෙ. පැතුම් මා එක්ක ඉරිසියයි වගෙ.."

"හයියෝ.."

"මට හිතුණොත් එම්. බී. ඒ එක අත අරිනවා චමියෝ"

"උඹේ මොළේ නරක් වෙලාද විජි? එතකොට යට කරපු සල්ලි...? අනිත් එක ඒක ප්‍රශ්නෙට විසදුමක්ද?. ඔයා එහෙම කරයි. හැබැයි ඔයා කවද හරි දුක් වෙයි. ඔයාට ඔච්චර හොද මොළයක් තියනවා.. ඔය ජොබ් එකේ ඔයාට ඉහළටම යන්න නම් මාස්ටර්ස් තියන එක හොදයිනෙ. අනිත් එක ඉගෙන ගන්න පුළුවන් වයස හැමදාම තියෙන්නෙ නැහැනෙ".

මම බණ කියනවා වගේ කියවනවා. "ඔයා අපේ බැච් එකේ තිබුණු සුපිරිම මොළ වලින් එකක්. අමතක කරන්න එපා ඔය කම්පණි එකේ ජොබ් එකක් ගන්න අපේ උන් කීයක් දැගලුවද කියලා. ඔයාටනෙ ඒක හම්බ උණේ. ඔතනිනුත් ගොඩාක් ඉහළට යන්න ඔයාට පුළුවන් විජි"

"මට හිතෙන්නෙ ඒකම තමයි පැතුම්ගෙ ප්‍රශ්නෙත්..". විජී හිනාවුණා.. ඒ හිනාවෙ දුක, කේන්තිය, බලාපොරොත්තු කඩවීම, ඒ හැම දේම තියනවා මම දැක්කා...

"ඒ කියන්නෙ ඔයා එයාට වඩා ඉගෙන ගන්න එක හරි, එයට වඩා ලොකු පඩියක් ගන්න එක හරි එයාට මදි කමක් වගේ.."

"ඔවු. ඒ වගෙ තමයි. පෙරේදා මගෙ ආටිකල් එකක් අපෙ වීක්ලි මැගසින් එකේ පළවුණා. පැතුම් ඇරෙන්න අනිත් හැමෝම ඒක ගොඩක් අගය කළා. ඊයෙ හවස අපි කාර් සේල් එකට ගියා කාර් එකක් බලන්න. පැතුම්ට කාර් පිස්සුවනෙ. එයා කාර් සේල් එකේ මැනේජර් එක්ක කතා කර කර ඉන්නකොට මම මොකක් හරි ප්‍රශ්නයක් අහන්න ගියා කියලා එය මට බැන්නා "ඔයා දන්නෙ නැති දේවල් වලට කට නොදා ඉන්න කියලා.".

"කතන්දරේ තේරෙනවනෙ. පැහැදිලි ඉරිසියාව. මට හිතෙන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ එයාගෙ හිතේ."

"ඔවු. නැතිව මගෙ අතින් වැරැද්දක් වෙලා නෙවෙයිනෙ"

"එහෙම නෙවෙයි. පැතුම්ට තමන් ගැන තියන ආත්ම විශ්වාසයෙ ප්‍රශ්නයක්. හැබැයි ඒක මට හිතා ගන්න බෑ. පැතුමා හැන්ඩි කොල්ලා. ඔච්චර හොද ජොබ් එකක් තියනවා. ඒත් තමන් ගැනම ආත්ම විශ්වාසයක් නැත්තෙ ඇයි. අනිත් එක ඔයාට හොදක් වෙනවනම් ඔයාගෙ හස්බන්ඩ් හැටියට එයා සතුටු වෙන්නනෙ ඕනෙ."

"මම කරන හැමදෙයක්ම කරන්නෙ අපි දෙන්නගෙම හොදට චමී. නැතුව එයා එක්ක තරගෙට නෙවෙයි. මොකෝ මට සැලරි එක වැඩි උනා කියල මම එයාව දාල යනවද?"

"හරි බන්. ඒක මම දන්නව. ඔයා බලල තියනවද "අභිමාන්" ෆිල්ම් එක?"

"පුන්චි කාලෙ බැලුවා මතකයි."

"ඒකෙත් ඔහොම සීන් එකක්නෙ වෙන්නෙ. වයිෆ් තමන්ට වඩා දක්ෂයි කියලා දැනගත්තම හස්බන්ඩ්ට ඉරිසියාවක් හිතෙනවා. එයා තවත් ඉහළට යනකොට, සමාජෙන් ලැබෙන පිළිගැනීම වැඩි වෙනකොට ඒක තවත් වැඩි වෙලා වයිෆ් එක්ක රණ්ඩු කරගන්නවා. හැබැයි හොද ආත්ම විශ්වාසයක් තියන පිරිමියෙක් එහෙම කරන්නෙ නෑ විජි. තමන් ගැන පුන්චි හරි හීනමානයක් තියන, තමන්ගෙ අගය අඩුවෙන් තක්සේරු කරන අය තමයි ඒ විදියට හිතන්නෙ"

"එදා මම ඔෆිස් එකේ ඉශාන්ව මගදී දැකලා හිනාවෙලා කතා කළා කියලා පැතුම්ට හොදටම කේන්ති ගියා. මොකෝ පාරෙදි හිනා උණා කියල මම ඒකව බදිනවද? ඉශාන් ටෙක්නී‍යෂියන් කෙනෙක්. ඒ මදිවට තාර පීප්පයක් වගෙ කළුයි."

"ලස්සනින් වත් වෙන කිසිම දෙයකින්වත් වෙන කිසිම කොල්ලෙක්ට පැතුම්ට කිට්ටු වෙන්න බෑ. ඒත් එයාට ඒක පේන්නෙ නැති එකයි ප්‍රශ්නෙ"

"ඔයා කිව්ව වගෙ හීනමානයක් තමයි එයාගෙ හිතේ තියෙන්නෙ. මන් මොකද කරන්නෙ මචෝ මේකට?" විජී ඇහුවෙ දුකෙන්..

"මොන දේ උණත් ඔයාගෙ ඩිග්‍රී ඒක නවත්තනවා වගේ මැටි වැඩ කරන්න එපා. එතකොට හිතන්නකො ඔයාට ඔය ජොබ් එකෙ වෙන හොද පෝස්ට් එකක් හම්බුණා කියල. ඔයා ඒක බාර නොගෙන ඉන්නවද? ඒ වගෙ වැඩවලින් වෙන්නෙ තමන්ට තමන්වම නැති වෙන එකයි. ඒකෙන් කවදා හරි දවසක ඔයා දුක් වෙයි."

"මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ පැතුම්ගෙ හිතේ නෙ විජි. ඔයා එයාට තේරුම් කරල දෙන්න බලන්න."

මම මගේ යාළුවාව දාලා එන්න ආවෙ හිතේ ලොකු බරක් තියාගෙන. සමහරක් අය තමන් ආදරේ කරන කෙනාට පුළුවන් තරම් උදව් කරනවා. හරියට උයන්පල්ලෙක් තමන්ගේ උයනේ ගස් වලට වැඩෙන්න සාත්තු කරනවා වගේ. ඒ ගහේ මල් පිපෙන කොට උයන්පල්ලෙක්ට දැනෙන්නෙ සතුටක්. සම-හරක් අයට ඕනෙ තමන්ගෙ සහකාරියව බොන්සායි ගහක් වගේ වැවෙන්න නොදී හැමදාම තියාගෙන ලස්සන බල බල ඉන්න. එහෙන් මෙහෙන් අතු වැවෙන්න හදනකොට ටක් ගාලා කප්පාදු කරලා ආයෙත් පුන්චි කරලා තියා ගන්නවා...ඒ බයටද???? මම මේ තාම හිතනවා...

කොහොම උණත් ඔය විදියේ බොන්සායි ගස් අපේ රටේ ලක්ෂ ගානක් ඇති...පවු...